ශිලා ලේඛණ 1 කොටස - උසස්පෙළ ඉතිහාසය

ශිලා ලේඛණ 1 කොටස

ශිලාලේඛණ


 

          ප්‍රධාන ලෙස සෙල්ලිපි වර්ග හතරකි. ලෙන්ලිපි, ගිරිලිපි, ටැමිලිපි, පුවරු ලිපි ලෙස මෙවා වර්ග කෙරේ. ක්‍රි:පු 3 වන සියවසේ සිට පැරණි යුගය අවසානය තෙක් ලංකා ඉතිහාසය ගැන ආලෝකයක් ලබා දෙන ශිලා ලේඛනයක් ඇත. ශිලා ලේඛන වලින් පමණක් ඉතිහාසය ඉගැන්ම අපහසුය. එහෙත් වංශකථා වැනි සාහිත්‍ය මුලාශ්‍ර සමග සසදා ගත් විට ඒවායින් ලැබෙන ප්‍රයෝජනය ඉමහත්ය. ඇතැම් වංශකථා ප්‍රවෘතීන් ශිලා ලේඛන වලින් විස්තර කෙරේ. ඇතැම් විට වංශකථා වලට අමතරව කරුණු ද ශිලා ලේඛන වලින් ලැබේ. සමහර විට වංශකථා ප්‍රවෘත්ති නිවරදි කර ගැනිමට ශිලා ලේඛන ඉවහල් වේ.

       වංශකථා කරුවන් බොහෝ විට උනන්දු වුයේ ආගමික කරුණුත් ප්‍රධාන දේශපාලන වෙනස් වීම් ගැනත් පමණක් නිසා ඉතිරි ඉතිහාසයේ හිස්තැන් පිරවීමට සෙල්ලිපි වලින් ලැබෙන උපකාරය විශාලය. ආගමික ආයතන වල පාලනය ජනතාවගේ එදිනෙදා ජීවිතය ගෙන ගිය ආකාරය ඉඩම් බුක්ති ක්‍රමය, වාරිමාර්ග පාලන ක්‍රමය වැනි කරුණු වලදී ද ශිලා ලේඛන වලින් ලැබෙන ප්‍රවෘති වැදගත්ය. ශිලා ලේඛන වල ඉතා වැදගත් කරුණක් නම් ඒ ඒ ලිපි වලින් කියවෙන සිදුවීම් හා ඒ ලිපි සමකාලීන වීමයි. එසේම සංස්කරණ කරුවන් ට හෝ පිටපත් කරුවන්ට හසු නොවී ඒවා පිහිටවූ ආකාරයෙන්ම අපට දක්නට ලැබීම මෙහිදී වැදගත්ය.

       පැරණි යුගයේ සෑම කාලයේම එකසේම සෙල්ලිපි දක්නට නැත. මුල්ම කාලයේ හා 9-10 සියවස් වල සෙල්ලිපි වල අධික බවක් දක්නට ඇත. මුලින්ම සෙල්ලිප් බ්‍රාහ්මිය අක්ෂර වලින් (අ‍ශෝක අක්ෂර වලින්) හා ප්‍රකෘති සිංහල වලික් ලියවී ඇත. පසුව සමහර ලිපි සංස්කෘත හා ද්‍රවිඩ භාෂාවලින් ලියවී ඇත.        

       මුල්ම ශිලා ලේඛන වල භික්ෂුන් වහන්සේලාට කෙරුන නොයෙක් පූජා කිරීම් ගැන සදහන් වේ. පසු කාලයේ නොයෙක් පූජා කිරිම්, ඉඩම්, වාරිමාර්ග, කුඹුරු ආදියත්. ඒවායින් ලැබෙන අදායම නොයෙක් වෙහර විහාර වලට පූජා කල අකාරය සෙල්ලිපි වලින් පැහැදිලි වේ. වාරිමාර්ග බදු හා ඒවා අයිතිකරුවන් දැක්වීමට උදක පති (සක පිති) වැනි වචන භාවිතා කර ඇත.බොහෝ විට මෙවන් පූජා කිරිම් කලේ රජවරුන්ය. පිදීම ලැබුවේත් අසල පිහිටි විහාර හා ආරාමය. ඒවා පූජා කල රජවරු තමන්ගේ විරුද නාම වැනි වැදගත් තොරතුරු සදහන් කලේය. ඇතැම් විට සාමාන්‍ය පුද්ගලයෙක් මෙවන් පරිත්‍යාග කලත් සමකාලීන පාලකයන් ගැන විස්තර ඒවායේ ඇතුළත් කලහ. මෙවන් නොයෙක් පරිත්‍යාග කර ඇත්තේ විහාර වල නොයෙක් අවශයතා සදහා ය. ඇතැම් විට තොටුපල වලින් ලැබෙන ආදායම් ආදිය ද එසේ පරිත්‍යාග කර ඇත.

සිතුල් පවුව, ගොඩවාය, තෝනිගල, අම්බලන්තොට, හබැස්ස, වෙහෙරගල වැනි ලිපි මීට නිදසුන් ලෙස දැක්වීමට හැකි අතර වංශකථා වල සදහන් බොහෝ කරුණු තහවුරු කරගැනිමට සෙල්ලිපි ඉවහල් වේ. වංශකථා වල සදහන් රජුන් කිහිපදෙනෙකුගේ නම් එක තැනකදි දක්නට ශිලා ලේඛනයක් දක්නට ඇත. එය ගෝනවත්ත සෙල්ලිපිය නම්න් හදුන්වයි.          

            මෙහි සදහන් සියලු රජවරන් ගැන තොරතුරු සෙල්ලිපියේ ඇත. වංශ කථාවල ආමණ්ඩ ගාමිණි ගේ පුත්‍රයා කව්රු දැයි පැහැදිලි නැතත් ඔහුට තිස්ස නම් පුත්‍රෙයකු සිටි බව මේ ලිපියෙන් පැහැදිළි වේ.

              මෑතක් වනතුරු ඇතැම් ඉතිහාසඥයන් පවා දුටුගැමුණු රජුගේ සෙනවියන් ගැන විස්තර ප්‍රභන්ධ කථා ලෙස සැලකුහ. එහෙත්  එතුමාගේ ප්‍රධාන සෙනෙවියෙක් වන නන්දිමිත්‍ර ගැන එරුපොතාන කුඩුම්බගල, නැට්ටු කන්ද යන ලිපි වල සදහන් වේ.

එසේම වැල් එල්ලු ගොඩ කන්ද ලිපියේද එතුමාගේ තවත් සෙනෙවියකු වන ථුස්සදේව ගැන සදහන් වේ. එසේම සංඛපාල නම් ස්ථානයේ ලිපියකද ඔවුන් ගැන සදහන් වේ. දුටුගැමුණු රජුගේ තවත් සෙනවියකු වු වේළුසුම ගැන දෙකුන්දර වැව් ලිපියේ සදහන් වේ.