ප්‍රස්තාව පිරුළු 10 - උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 10

ප්‍රස්තාව පිරුළු

 

නීලමහා යෝධයා වාගේ- කෙනෙකුගේ වීරත්වය හා ශක්ති සම්පන්න භාවය පිළිබදව පැවසේ

නීලමහා යෝධයා ගජබා රජුගේ හමුදාවේ සිටි වීරයෙකි. යගදාවෙන් ගසා මුහුදු දිය දෙබෑ කොට සොළි රටට ගොස් එරට හමුදාව සමග සටන් කරමින් මෙරටින් එරටට ගෙනගිය දොළොස් දහසක් සෙනගද එරටින් දොළොස් දහසක සෙනගක් සමග විසි හතර දහසක ‍ජනයා මෙරටට ගෙන ආවේ නීලමහා යෝධයා විසිනි.

 

යම රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වාගෙයි - යුක්ති සහගත විනිශ්චයක් හා ඊට අදාළ දඩුවම් පැමිණවීම

 

රජ ගෙදර පරවියා වාගේ - ඉතා සතුටින් හා ‍සැපෙන් කල් ගෙවීම

 

රයිගමයයි ගම්පොළයයි වාගේ - එක හා සමාන කපටි පුද්ගලයන් දෙදෙනෙක් ගැන කියැවේ

එක් දිනක් රයිගමයාත් ගම්පොළයාත් අම්බලමකදී හමුවී වෙළදාමක් කරන්නට කථාබස් කර ගත්තේය. වෙළදාමට පුවක් රැගෙන එන බවට ගම්පොළයා පොරොන්දු විය. රයිගමයා පොරොන්දු වූයේ වෙළදාමට බුලත් රැගෙන ඒමටය. ගම්පොළයා පුවක් වෙනුවට රැගෙන ආවේ ඊරිය ගෙඩි ගොඩකි. රයිගමයා බුලත් වෙනුවට රැගෙන ආවේ ගම්මිරිස් කොළය. පසුදා හිමිදිරියේ වෙළදාම සදහා යාමේ බලාපොරොත්තුවෙන් කදවල් දෙක රැගෙන දෙදෙනාම අම්බලමට ඇතුළු වූහ. පාන්දරම අවදි වූ ගම්පොළයා රයිගමයා ගෙන ආ කද රැගෙන හොරෙන්ම පළා ගියේය. පසුව අවදි වූ රයිගමයා අවට බලන විට ගම්පොළයා තමාගේ කද රැගෙන පළා ගොස් ඇති ව දැක “ වූ රැවටුණා ” යැයි සිතා ගම්පොළයා ගෙන ආ පුවක් කද ඔසවා ගෙන සතුටින් යුතුව වෙළදාම සදහා පිටත්ව ගියේය. තමාද රැවටී සිටින බව ඔහුට වැටහුණේ කදත් රැගෙන ටික දුරක් ගියාට පසුවය.

 

රුහුණුත් ගිහින් කිරි පැණි නොකා ආ‍වා සේ - කිසියම් කරුණක වූණතාවයක් ගැන පැවසීමට

 

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළා වාගෙයි - බලවත් විපතක් සිදුවූ විට ඒ ගැන නොතකා විනෝද වීම

 

ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි - උසස් තත්වයක් දරන්නෙකු වුවද පහත් වැඩක් සිදු කිරීම

 

 

පිස්සිගේ පළා මල්ල වාගෙයි - අපිළිවෙලින් යුක්ත අවුල් වියවුල් වූ තැනැත්තන් පිළිබද පැවසීමේදී යොදා ගැනේ

 

ලබ්බට තිබ්බ අතමයි පුහුලටත් - එක් වරදක් කළ තැනැත්තා යළිත් එවැනි වරදක් කිරීමට පෙළඹෙන බව

 

ලබ්බෙ තොවිලෙ වාගේ - සීමා සහිත ඉඩක් ඇති තැනක වැඩ කටයුතු රැසක් සිදු කිරීම

එක්තරා ගමරාළ කෙනෙකුගේ විශාල ලබු ගෙඩියක් හටගෙන තිබුණි. හෙතෙම ගැමියන් කිහිප දෙනෙකු ලවා එය ගෙදර ගෙනගොස් ඇස්ස කපා ශුද්ධ කොට වියලෙන්නට තැබුවේය. නොබෝ කාලයකින් ගමරාළට තොවිලයක් කිරීමට සිදුවිය. ගමරාල යකැදුරන් හමුවී බුලත් දී ආරාධනා කොට තොවිලයට අවශ්‍ය කටයුතුද යෙදීය. යකැදුරන් පැමිණ තොවිලය නටන්නා වූ දින රාත්‍රීයේ මහා වැස්සක් වසින්නට පටන් ගත්තේය. මුළු පළාතම වතුරෙන් යටවී ගම රාළගේ ගෙදර සියල්ලෝමද අර යෝධ ලබු ගෙඩිය තුළට රිංගා ගත්තේය. ලබු ගෙඩිය තුළට වතුර ඒම වැළැක්වීම පිණිස එහි ඇස්ස වසා ඉටි තබන ලදී. යකැදුරෝ ලබු ගෙඩිය තුළ යාගය සිදු කළෝය. ලබු ගෙඩිය ජලයේ පාවී මුහුදට ගියේය. යෝධ ම්‍ත්සයෙක් එය මුහුදේදී ගිල දැම්මේය. එදින ගැමියෙක් ව්‍යංජනයකට සුදුසු යමක් සොයා ගොස් උකුස්සා දැක වු මරාගෙන අවුත් බිරියට දුන්නේය. මේ අකුස්සාගේ පිහාටු ගලවා බඩ පැළුවේය. බඩ තුළ මත්සයෙකු සිටින අයුරු දුටු ඕ සැමියාට කථාකොට ඒයද ‍පෙන්වූවාය. මත්සයා ඉවතට ගත් ඕ උගේද බඩ පැළුවේය. මාළුවාගේ බඩ ඇතුළේ ලබු ගෙඩියකි. ස්ත්‍රි කැත්තක් ගෙන ලබු ගෙඩියද පැළුවොය.  “මිනිස්සු, මිනිස්සු ”  කියමින් ලබු ගෙඩිය තුළ සිරවී සිටි පිරිස සියල්ලෝම මහ හඩින් දවුල් බෙර ගසමින් ඉවතට පැමිණියෝය.

 

ලූලා නැති වලට කණයා පණ්ඩිතයා ලු - ප්‍රධානියෙක් නැති අවස්ථාවේ සුළු පුද්ගලයෙක් ප්‍රධානත්වය ගෙන පණ්ඩිතකම් කියා පෑම.