ප්‍රස්තාව පිරුළු 11 - උසස්පෙළ සිංහල

ප්‍රස්තාව පිරුළු 11

ප්‍රස්තාව පිරුළු

 

නරියා හුවෙන් හඳුනා ගත හැකිය - කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය

 

රන් රස වගෙයි - රත්තරන් හා රසදිය මුසු වුවාක් මෙන් (ඉතා යෝග්‍ය ගැළපීමක්)

 

නටන්නට බැරි කෙනා පොලව ඇදයි කීම - අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම

 

පනින්නට පෙර සිතා බලනු - යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි

 

වක්කඩ කැඩුවා වාගේ - නොනවත්තවා කරගෙන යාම

 

වක්කඩේ හකුරු හැංගුවා වාගෙයි - නුසුදුසු ස්ථානයක යමක් පරිස්සමට තැබීම

 

කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු - විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම

 

දී කිරට බළලුත් සාක්කිලු - කවුරුත් කථා කරන්නේ වාසි පැත්තට බව

 

පුහුල් හොරා කරෙන් දැනේ - බාහිර ඉරියවු වලින් වරදකරු සොයා ගැනීම

  

පවට පින් දෙන්න බෑ - බලහත්කාරයෙන් කෙනෙකුට යහපතක් කල නොහැකිය

 

වත්ත බද්ධට දී ඇස්සට දත නියවන්නා වාගෙයි - තම ධනය විනාශ කරගෙන අනුන්ගේ පිහිට ප්‍රාර්ථනා කිරීම

 

අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ - නිෂ්ඵල කාර්යයක නිරත වීම

 

කොට බල්ලාගේ හාදකම වගෙයි - බල්ලා හිතවත් කම පෙන්වන්නේ වල්ගය වැනීමෙනුයි.  එහෙත් වල්ගය කොට බල්ලෙකුට එසේ කල නොහැක

 

වැද්දාට ගොරක දඩමස් කළ හැකිලු - උපායශීලී බව හා කුසලතා ඇති අයට යමක් නිර්මාණය කල හැකිබව

 

ගිලී මලේ ඇත දත සුද්දෝ - ඉතා දුර්ලභ මිනිසුන් සිටීම

 

නරියා පඹගාලේ පැටලුනා වාගේ - කෛරාටික පුද්ගලයෙකු කිසියම් ප්‍රයෝගයකට හසුවීම

නරියා යනුවෙන් හදුන්වන්නේ සත්ව ලෝකයේ සිටින කපටිම සත්වයා ලෙසය. එවැනි සතෙකු පඹ ගාලක පැටලීම විශේෂ සිද්ධියකි. සෙසු සත්වයන්ව උගුල් වලට අල්ලා තමාගේ වාසිය සලසා ගැනීම නරියාගේ සිරිතය. එහෙත් ඔහු පඹගාලේ ලැටලුණේය.

 

ඌරන් ඉදිරියේ මුතු නොදමනු -අගය නොදත් කෙනෙකු ඉදිරියේ කිසිදෙයක් නොකල යුතුය

 

වීදුරු ගෙවල් වල සිට ගල් ගසන්නා වාගේ - තමන් අන්තරාදායක ස්ථානයක සිට සෙස්සන්ට අභියෝග කිරීම

 

නයාට අඳුකොළ වගෙයි - දැකීමට කොහෙත්ම අකමැති වීම

 

සකස්කඩ නොකී කට උගේ කට හුඹස්කට - නිවැරදිව වචන උච්චාරණය කිරීම සදහා සකස්කඩ කියවිය යුතු බව

 

ගැරඬි මරා පව් පුරවා ගැනීම - අහිංසකයන් ට හිරිහැර කිරීම සුදුසු නොවන බව

 

සංඝරාජ වුනත් ගම තුම්පණේ යැයි කීවා සේ - කෙතරම් උසස් තානාන්තර දැරුවත් ආවේණික ගති ලක්ෂණ එලෙසම පැවතීම

 

පුවක් ගහෙන් බහින්නා වගේ - යම්දෙයක් ඉතා පහසුවෙන් සහ ඉක්මනින් කිරීම

 

හිත ඇත්නම් පත කුඩාද? - සිතේ ධෛර්ය ඇතිකළ ඕනෑම දෙයක් සිදුකළ හැකි බව

 

කබලෙන් ළිපට වැටුනා වගේ - විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම

 

සිංහ වෙස්ගත් නරියා වාගේ - ගරු බුහුමන් ලැබූ පුද්ගලයාගේ යථා ස්වාභාවය හෙළි වූ පසුව ඔහු සමාජයෙන් මට්ටු වෙනබව

වනාන්තරයේ විසු නරියෙක් සායම් භාජනයකට වැටී සියොළග කොළපැහැ ගැන්විණ. මේ සිද්ධිය ප්‍රයෝජනයට ගත් නරියා තමා වන සතුන්ගේ රාජ්‍යත්වට පත් කරන ලදැයි ප්‍රචාරය ක‍ළේය. වන සතුන්ද ඒ බව විශ්වාස කළේය. අලි ඇතුන්ද, සිංහ කොටි ආදී සතුන් ද නරියාගේ නායකත්වය පිළිගෙන සිටින බව පෙනෙන්නට තිබිණ. එබැවින් නරියා සෙසු නරින්ට ආඩම්බර කම් දක්වමින් සිටියේය. අනෙක් නරින් ඌ සමග අමනාප වූවේය. ව්‍යාජ ලෙස රජවූ නරියාට පාඩමක් ඉගැන්වීමට ඔවුන් කල්පනා කළේය. දිනක් නරියා උස් අසුනක හිදගෙන සතුන්ගේ සභාවක් පැවැත් වූයේය. එවිට ඈතින් සිටි නරි රංචුව “හූ” කියන්නට පටන් ගත්තේය. එම “හූ” හඩ ඇසෙත්ම තමාගේ ව්‍යාජ රජකම ගැන අමතක විය. ඌ ද මහ හඩින් හූ කියන්නට පටන් ගත්තේය. මේ නිසා තමන් රවටාගෙන සිටීම ගැන අලි, ඇතුන්, සිංහ, කොටි ආදී සතුන් සියළු දෙනාටම හොදටම කේන්ති ගියේය. එකෙනෙහිම කොටියා ව්‍යාජ නරි රජු කරා පැන ඌ මරා දැම්මේය.

  

පිරුණු කලේ දිය නොසැලේ - උගතුන් නිහතමානී වේ.