ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය 2 - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය 2

 ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය

 

“ දෙමළ ජනතාවගේ නාට්‍ය විශේෂයක් වන “තෙරුක්කුත්තු” නම් නාට්‍ය ඇසුරින් සොකරී නාට්‍ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ගැමි සංස්කෘතියේ ඇති ඇතැම් ලක්ෂණ සොකරී නාට්‍යයේ තිබීමයි. ”

සොකරී ආරම්භ වන්නේද වෙනත් බොහෝ යාතුකර්මයන් සිදු කරන ආකාරය වන තෙරුවන් නැමද අවසර ගැනීමෙනි. මෙහි දැක්වෙන කවි සොකරී නාට්‍යයේ පමණක් නොව වෙනත් අවස්ථා වලදීද භාවිතා කරන අතර ඇතැම් වචන “සොකරී” නාට්‍යටම ආවේණික වූවාය.

 

සරණයි සරණයි බුද්ධං සරණයි

සරණයි සරණයි ධම්මං සරණයි

සරණයි සරණයි සංඝං සරණයි

සරණයි සරණයි මේ තුන් සරණයි

 

බුද්ධං සරණේ සිරස දරන්නෙමු

ධම්මං සරණේ දෙඋර දරන්නෙමු

සංඝං සරණේ ගත පළදින්නෙමු

මෙතුන් සරණ වැද සොකරි නටන්නෙමු

   

වන්නි ප්‍රදේශයේ සොකරී නාට්‍යයේ එන සිරසපාද කවි දහයෙන් බුදුගුණ දැක්වෙන්නේ එක් කවියක පමණක් වන අතර සිරසපාද කවි ආරම්භ වන්නේ ගණදෙවි වර්ණනාවකිනි. මීට අමතරව විෂ්ණු, පත්තිනි, සමන්, විභීෂණ, කතරගම, මහා බ්‍රහ්ම ආදී දෙවිවරුන් ගැනද මෙහි දැක්වේ. මෙයින් පැහැදිලි වන්නේ මුළු දිවයින පුරාම බුදු දහම ව්‍යාප්ත වුවද තමන් විසින් ආදී කාලයේ සිට අදහනු ලැබූ දෙවි දේවතාවුන් වහන්සේලා අමතක නොකල බවයි. එය ඔවුන්ගේ විශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.

 

සිරසපාද කවි

 

ගණපති දෙති නුවණ -  මිහිකත් රකිති මෙගුණ

දෙන්නේ මට නුවණ - අසන් දෙවියනි දේව සුබ ගණ

 

දෙවියනි කතරගම - කවියෙන් කියමි වැද මම

කවි කියන අප සැම - රකින් දෙවියනි මෙඅප නිතරම

 

ආසිරි සුබ සරණ - ගෞතම මුණිදු සරණින

වරම් ගෙන අදදින - දිසා ආසිරි වඩා සෙත් දෙන

 

බඹ සුර නරන් හැම - මහ බඹ සමන් විබිසන

සදෙව් ලොව දෙව් හැම - අපට අවසර දෙවන් නිතරම

 

සුර විස්නු දෙවියන් - ගණ පත්තිනි දෙවියන්

මෙතුන් ලොව දෙවියන් - අපට අවසර දෙවන් බැතියෙන්

 

මෙහි අනෙක් දේවතාවන්ට ප්‍රථමයෙන් නොවන අතර මැද ස්ථානයක බුදුන් වහන්සේට ලබා දී ඇත. ඒ අනුව සොකරී බෞද්ධ ගැමි නාටකයකට වඩා වෙනස් වූ නාටකයක් ලෙස පෙනී යයි. එහි එන සශ්‍රීකත්වය පිළිබද අදහස හෝ ස්ත්‍රී සාපල්‍යතාව (සරුබව) පිළිබද අදහස හෝ බෞද්ධයා වැදගත් කොට නොසලකන ලෞකික කරුණුය.

මහින්දාගමණයෙන් පසු මෙරට රජවරු දිගින් දිගටම පිළිගන්නේ බුදු සමයයි. බෞද්ධයෙකු නොවන එළාර රජතුමාට පවා බෞද්ධ සාරධර්ම පිළිගැනීමට සිදු විය. මහනුවර යුගයේ සිටි වඩික පාලකයින් උපතින්ම හින්දු භක්තිකයන් විය. නමුත් ඔවුන්ට පැවරී තිබුණේ බුදු දහම රැක ගැනීමේ කාර්යයි. මෙකල ඇතැම් රජවරු වෙහෙර විහාර තැනවූහ. එසේම භික්ෂූන්ට උපස්ථාන කළහ. ධර්මය රැකීමට උපකාර කිරීම, වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම ආදී දේවල් සිදු කළ අතර බුදු දහම රාජ්‍ය ආගම ලෙසද පිළිගනු ලැබීය. සොකරී නාට්‍ය රග දැක්වීම මහනුවර, මාතලේ, කුරුණෑගල, නුවර එළිය, බදුල්ල, කෑගල්ල ආදී දිස්ත්‍රික්කයන්ට පමණක් සීමා වූවක් බව පෙනේ. ඇතැම් ප්‍රදේශවල පත්තිනි දෙවියන් උදෙසා සිදු කරනු ලබන පූජාවක් ලෙසද සොකරී නාටය රගදක්වනු ලබන අතර එය අවසානයේ එහි රංගන කටයුතු සිදු කළ සියළු නළුවන් කතරගම දෙවියන් හා පත්තිනි දෙවියන්ට බාර ඔප්පු කිරීම සිරිතක් වී පැවතුණේය. සොකරි රගදැක්වීමේදී වාදනය කරන්නේ බෙරය, කයිතාලම හා ‍හොරණෑවයි. උඩරට ප්‍රදේශයේ ඒ සදහා ගැට බෙරය භාවිතා කරයි.  ඌව, සබරගමුව ප්‍රදේශවල යොදාගනු ලබන්නේ දවුලයි.

  

සොකරී නාටයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයන් කිහිපයක් දක්නට තිබේ.  ඒවා පහත සදහන් කරඇති ආකාරයට දැක්විය හැකිය.

 

  • අනූරූපණය මගින් චරිත නිරූපණය වෙයි. (කවියෙන් විස්තර කරන අතරතුර අනුකරණය කර පෙන්වයි.)
  • කාන්තා චරිත නිරූපණය කරනු ලබන්නේ පිරිමි නළුවන් විසිනි
  • ගද්‍ය සංවාද වලට විශේෂ තැනක් හිමිවේ
  • ඇතැම් නළුවෝ වෙස්මුහුණු පැළදගෙන රංගනයේ යෙදෙයි. (වෙදරාළ, පරයා)
  • සොකරී නාට්‍ය නොනවත්වා එක දිගට දවස් හතක් රගදක්වනු ලබයි