මහගම සේකර - සාමාන්‍යපෙළ සිංහල හා සාහිත්‍යය

මහගම සේකර

සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට නියමිත, සිංහල සාහිත්‍යය සංග්‍රහයේ එන "දෑතේ කරගැට සිඹසනසන්නට" නම් නිර්මාණය බිහි කළ සුප්‍රකට කලාකරුවා අන් කවරෙකුත් නොව මහගම සේකර නම් වූ කෘතහස්ත කලාකරුවා ය.වර්ෂ 1929දී මෙලොව එළිය දුටු මහගම සේකරයන්ගේ උපන් ගම වූයේ, කිරිඳිවැල රදාවාන ගම් පියසයි. ග්‍රාමීය පරිසරයක් තුළ සිය ජීවන අත්දැකීම් වපසරිය පුළුල් කර ගත් මෙතුමා සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේ, ගුරුවරයෙකු ලෙස ය. 'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන සුභාෂිත කවි උපදෙස අභියෝගයට ලක් කළ මහගම සේකර නම් වූ සොඳුරු මිනිසා ගුරුවරයෙකු ලෙස පමණක් නොව ප්‍රබුද්ධ කලාකරුවෙකු ලෙස බොහෝ ක්ෂේත්‍රයන්හි තම ප්‍රතිභාව පෑවේ ය.

කවියෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, චිත්‍රපට අධ්‍යක්වරයෙකු,නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු හා පුවත්පත් කලාවේදියෙකු ලෙස ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ පෙළහර පෑ සේකරයන් රසික හදවත් බෙහෙවින් සංස්පර්ශ කළේ සිය අපූරු කවි සංකල්පනාවන්ගෙනි.ව්‍යංගා, සක්වා ලිහිණි, බෝඩිම, නොමියෙමි වැනි පද්‍ය සංග්‍රහ රැසක කතුවරයා වූ මෙතුමාගේ සුවිසෙස් පද්‍ය සංග්‍රහය ලෙස පාඨක විචාරක සම්භාවනාවට පාත්‍ර වූයේ, ඔහුගේ මරණයෙන් පසු ව ප්‍රකාශයට පත් වූ 'ප්‍රබුද්ධ' නම් වූ කාව්‍ය සංග්‍රහයයි.