ව්‍යාපෘති හඳුනා ගැනීම සාර්ථක ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමෙහිලා කෙතරම් දුරට වැදගත් වන්නේ ද? - උසස්පෙළ ආර්ථික විද්‍යාව

ව්‍යාපෘති හඳුනා ගැනීම සාර්ථක ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමෙහිලා කෙතරම් දුරට වැදගත් වන්නේ ද?

ව්‍යාපෘතියක් යන්න හැඳින්වීමේ දී විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර එක් නිර්වචනයක් ලෙස,

නිශ්චිත කාල සීමාවක් තුළ දී ඉලක්ක කරන ලද කණ්ඩායම් වලට හෝ පුද්ගලයන්ට ප්‍රතිලාභ අත්කර දීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නිශ්චිත ආයෝජන කාර්යයක් ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය.

මෙම නිර්වචනයට අනුව ව්‍යාපෘතියක්,


යම්කිසි කාල සීමාවකට අයත් වේ.
ප්‍රතිලාභ අත් වන්නේ කුමන පුද්ගලයාට ද යන්න පැහැදිලිව තිබේ.
නිශ්චිත ආයෝජන සැලැස්මක් විය යුතුය.

ව්‍යාපෘති චක්‍රය යනු, ව්‍යාපෘති විශ්ලේෂණයේ දී සුදුසු ව්‍යාපෘතිය තෝරා ගැනීම හා සම්බන්ධ ක්‍රියාවලියයි. සීමිත ප්‍රාග්ධන සම්පත් විවිධ ව්‍යාපෘති අතර බෙදා වෙන් වෙන් කිරීමේ දී වඩාත් යෝග්‍ය ව්‍යාපෘති තෝරා ගැනීම ව්‍යාපෘති විශ්ලේෂණය මූලික අරමුණයි. ව්‍යාපෘති විශ්ලේෂණයක් ආරම්භ වන්නේ ව්‍යාපෘතිය සැලසුම් කරන අවස්ථාවේ සිටය. සුදුසු ව්‍යාපෘතියක් තෝරාගැනීමේ ක්‍රියාවලිය එනම් ව්‍යාපෘති චක්‍රය අදියර 7 කි.

ව්‍යාපෘතිය හඳුනාගැනීම

ව්‍යාපෘතිය පිළියෙල කිරීම හා විශ්ලේෂණය

ව්‍යාපෘතිය අගය කිරීම

ව්‍යාපෘතිය සංවිධානය කිරීම

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

පසු විපරම් කටයුතු

ව්‍යාපෘතියක මෙම අදියර එකිනෙක හා බැඳී පවතින අතර මෙම ව්‍යාපෘතිය ජීවන චක්‍රය ලෙස ද හැඳින්වේ.

ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමට ව්‍යාපෘති චක්‍රයට අදාළ සියලු අදියර හොඳින් කළමනාකරණය කළ යුතුය. ව්‍යාපති චක්‍රයේ පළමු අවස්ථාව ප්‍රාග්ධනය ආයෝජනය කළ හැකි විකල්ප යෝජනා අතරින් යෝග්‍ය ව්‍යාපෘති මොනවාද යන්න හඳුනා ගැනීම වේ. හඳුනා ගැනීම ක්‍රම කීපයකට කළ හැකි ය.

  1. සම්පත් පදනම් කරගෙන ව්‍යාපෘති හඳුනා ගැනීම

  2. ආනයන අපනයන පදනම් කර ගෙන

  3. වෙළඳපොල පිළිබඳ අධ්‍යයනය

  4. රජයේ ප්‍රතිපත්ති හැදෑරීම මත

  5. ශිල්පීය දැනුම කුසලතා පදනම් කර ගෙන

  6. මහා පරිමාණ නිෂ්පාදන අතරින් අතුරු නිෂ්පාදන කටයුතු පදනම් කරගෙන

  7. පවතින කර්මාන්ත ඒකක සංවර්ධනය පදනම් කරගෙන

  8. සංවර්ධන මධ්‍යස්ථාන පදනම් කරගෙන

කිසියම් රටක හෝ ප්‍රදේශයක පවතින ඛනිජ ආදී සම්පත් පිළිබඳ අධ්‍යනයෙන් විවිධ ව්‍යාපෘති හඳුනා ගත හැක.

රටක පවතින සම්පත් උපයෝගී කරගෙන ව්‍යාපෘති ආරම්භ කර තිබේ ද?

එම සම්පත් උපයෝගී කරගෙන ආරම්භ කළ හැකි වෙනත් ව්‍යාපෘති තිබේ ද?

සම්පත් උපරිම ලෙස උපයෝජනය කර තිබේ ද? යන්න හඳුනා ගත යුතුය.

ආනයන හා අපනයන මත පදනම්ව ව්‍යාපෘති හඳුනා ගැනීමේදී ගැනීමේ දී රේගු වාර්තා පරිශීලනය කළ හැකි ය. මේ තුළින් ආනයනය කරන ඇතැම් භාණ්ඩ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ද යන්න සොයා බැලිය හැකිය. එසේම 

අපනයන සංවර්ධන මණ්ඩලය
වෙළඳ හා නාවුක තොරතුරු සේවය
ආයෝජන මණ්ඩලය
විදේශීය සඟරා, ලිපි ලේඛන
ආදිය මඟින් අපනයන හැකියාවන් පවතින ව්‍යාපෘති හඳුනා ගත හැකිය.

එමෙන්ම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ව්‍යාපෘති හඳුනා ගැනීමේදී වෙළඳපල අධ්‍යයනය ඉතා වැදගත් වේ. ඉල්ලුම වෙනස් වන ආකාරයට ලාභදායී ව්‍යාපෘතිය තෝරා ගැනීමට එමඟින් පිටුවහලක් ලැබේ. උදාහරණ ලෙස,
ඉදිකිරීම් බහුලව සිදු කෙරෙන ප්‍රදේශයක ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති කෙරෙන ප්‍රදේශයක කළු ගල්, ගඩොල්, වැලි, සිමෙන්ති වැනි දෑ සඳහා ඉල්ලුම ඉහළ යයි. මේ ආකාරයට ඒ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් වෙළඳපල සංතෘප්ත වී තිබේද? එසේ ම එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ දී අලුත් විභවතා තිබේද? යන්න සොයා බැලිය යුතුය.

රජයේ ප්‍රතිපත්ති හැදෑරීම මත ද ව්‍යාපෘති හඳුනා ගත හැකිය. බොහෝ සංවර්ධනය වන රටවල ආර්ථික සංවර්ධන කටයුතු වලින් රජය විවිධ ක්‍රියාමාර්ග ගනු ලබයි. රජයේ ප්‍රතිපත්ති මගින් විවිධ දිරිගැන්වීම් ක්‍රම හඳුන්වා දෙන අතර,
ආදායම් බදු සහන
තීරු බදු සහන
අඩු පොලී ණය
ප්‍රාග්ධන හා ආයෝජන භාණ්ඩ සඳහා ආනයන බදු

ඒ අතර වැදගත් වේ. රජයේ සංවර්ධන ප්‍රතිපත්ති අධ්‍යයනයෙන් වඩාත් ඵලදායි ව්‍යාපෘති තෝරා ගත හැකිය.

තවද ජාත්‍යන්තර වෙළෙඳ වෙළෙඳපොලේ ඉල්ලුම් තත්ත්වය හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නිතර පරීක්ෂාවට භාජනය කිරීමෙන් විදේශීය වෙළෙඳ පොළේ ඇතැම් භාණ්ඩ සඳහා පවතින ඉල්ලුම තත්ත්වය හඳුනා ගත හැකිය. අපනයනාභිමුඛ කර්මාන්ත සංවර්ධන සංවර්ධනයේ දී ජාත්‍යන්තර වෙළඳපළ පිළිබඳව කරනු ලබන අධ්‍යනයන් ඉතාම වැදගත් වේ.

මෙලෙස විවිධ ප්‍රවේශයන් යටතේ ව්‍යාපෘති හඳුනා ගැනීම තුළින් සුදුසු ව්‍යාපෘති මොනවාද යන්න පූර්ව නිගමනයකට එළඹිය හැක. ඒ අනුව ව්‍යාපෘතියක් හඳුනා ගැනීම ව්‍යාපෘතිය සාර්ථක භාවයට බෙහෙවින් බලපාන අදියරක් ලෙස දැක්විය හැකිය.