ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය 1 - සාමාන්‍යපෙළ නර්තනය (සිංහල)

ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය 1

ගැමියන් සතුටු කළ සොකරී නාට්‍ය

 

දෙමළ ජනතාවගේ නාට්‍ය විශේෂයක් වන “තෙරුක්කුත්තු” නම් නාට්‍ය ඇසුරින් සොකරී නාට්‍ය නිර්මානය වී ඇතැයි සැලකේ. එසේ පැවසීමට හේතුව වි ඇත්තේ දෙමළ ගැමි සංස්කෘතියේ ඇති ඇතැම් ලක්ෂණ සොකරී නාට්‍යයේ තිබීමයි. කෘෂිකාර්මික ගැමි ජීවන රටාවක් ගත කළ පැරණි ගැමියන් අස්වැන්න නෙළා අවසන් වූ පසු තමාගේ විනෝදාස්වාදය උදෙසා සොකරී නාට්‍ය රග දැක්වූ බව පැහැදිලි වේ. අස්වැන්න නෙළා අවසන් වූ පසු සොකරී රගදක්වන බැවින් මේ සදහා බොහෝ විට යොදාගනු ලැබුවේ කමතයි. නැතහොත් හොදින් ඉඩකඩ ඇති එළිමහන් ප්‍රදේශයකි. ‍රංග භූමිය මධ්‍යයේ වංගෙඩියක් තබා ඇති අතර නළුවන් ඒවටා ගමන් කරමින් රංගනය ඉදිරිපත් කරනු ලබයි. එසේම රංග භූමියට ආලෝකය සපයා ගනු ලබන්නේ ලන්තෑරුමක් මගිනි. නමුත් සොකරී නාට්‍ය දෙස බැලිය යුත්තේ හුදෙක් සිනහව උදෙසා පමණක්ම නොවේ.

 

කාසි රටේ ගුරුහාමි නම් අවලස්සන පෙනුමක් ඇති මහළු අයෙක් ජීවත් විය. ඉතා රූමත්, ලස්සන කාන්තාවක් වූ සොකරී නම් තරුණියව කුලවත් පෙළපතින් පැවත එන ගුරුහාමි නැමැත්තා විවාහ කර ගනු ලබයි. විවාහයෙන් පසුව ඔවුන්ට මිලමුදල් හිගවේ. රැකියාවක් සොයා යන ගුරුහාමිට කිසිදු රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ අතර ගුරුහාමි,‍ සොකරී හා සේවකයා වූ පරයාද සමග නැව්නැගී ශ්‍රී ලංකාවට පැමිණීයහ. මෙරටට පැමිණි ඔවුන් ප්‍රථමයෙන් සිදු කරනු ලැබුවේ සිරිපා වන්දනයේ යාමයි. පසුව තඹරාවිට නම් ගම්මානය පැමිණ හෙට්ටියා නැමති පුද්ගලයෙකුගෙන් ඉඩමක් මිලදී ගන්නා ඔවුන් පැල්පතක් සාදාගෙන එහි ජීවත් විය. මෙසේ කල් ගෙවන අතරතුර ගුරුහාමි සහල් සොයා ගමේ ඇවිද යයි. මොවුන් සිංහල භාෂාව නොදන්නා බැවින් ගම්මානයේදී විවිධ කරදර වලට මුහුණදීමට සිදු විය. ඒ කෙසේ වෙතත් සහල් සොයාගෙන පැමිණි ද නිවසේ වතුර නොතිබූ නිසා ගුරුහාමි නැවතත් වතුර ගෙන ඒම සදහා පිටත් විය. ඒ අතරතුර බල්ලෙකු සපා කෑම නිසා ඇති වූ වෙදනාවෙන් කලාන්ත දමා ඇද වැටුණි. ගුරුහාමි මිය ගියා යැයි සිතූ පරයා සොකරී සමග හාදවීමට උත්සහ දරයි. සොකරී ගමේ වෙද ගෙදරට ගොස් ගුරුහාමිට ප්‍රතිකාර කරන මෙන් ඉල්ලා සිටියි. වෙද රාලද මෙම ඉල්ලීමට එකග විය. මේ අතරතුර වෙදරාල හා සොකරී අතර හිතවත් කමක් හටගනී. ගුරුහාමිට ප්‍රතිකර කළ වෙදරාළ සොකරීවත් රැගෙන වෙදගෙදරට ගෙන ගියේය. සුවපත් වූ ගුරුහාමි සොකරී නිවසේ නොමැති බව දැනගත් විට ඇයව සොයා දෙන මෙන් කතරගම දෙවියන්ට භාරයක් වෙයි. කතරගම දෙවියෝ ගුරුහාමිට සොකරී ඉන්නා තැන පෙන්වා දෙනු ලබයි. පසුව සොකරීව නිවසට කැදවාගෙන ආ අතර ටික දිනකින් සොකරීට දරුවකු ලැබෙයි. දරු සුරතල් බලමින් , නැළවිලි ගී කියමින් සිටින සොකරී අවසානයේ ප්‍රේක්ෂකයාට ද සෙතපතා කවි ගායනා කරනු ලබයි.

 

ඉහත දක්වනු ලැබුවේ සොකරී කථා පුවත වන අතර මෙම කතාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම දක්නට ලැබේ.   

 

සොකරී නාට්‍යයේ ප්‍රදාන චරිතයන් කිහිපයක් දක්නට ලැබේ. එනම් සොකරී, ගුරුහාමි, පරයා, වෙදරාළ, ගමරාළ, ගුරුහාමි යන චරිතයි. මෙම ප්‍රධාන චරිතයන්ට අමතරව හෙට්ටියා, සොන්තනා, වඩුරාල, කොරවක්බණ්ඩා, කෝළමා ආදී චරියන්ද සොකරී නාට්‍ය තුළ දක්නට ලැබේ.

 

සොකරී - මෙය කාන්තා චරිතයක් වුවද නිරූපණය කරන්නේ නළුවෙකු විසිනි. ඔසරියකින් සැරසුනු රූමත් කාන්තාවක් ලෙස පෙනී සිටියි.

 

ගුරුහාමි - සොකරිගේ ස්වාමිපුරුෂයා ගුරුහාමිය. උසස් පවුලකට අයත් අවලස්සන වයස්ගත වූ පුද්ගලයෙක් ලෙස මෙම චරිතය දැක්වේ. උඩරට නැට්ටුවන් අදින හගලට සමාන වු ඇදුමකින් සැරසී සිටියි.

 

පරයා - වෙස්මුහුණක් පැළදගෙන තම කාර්ය ඉදිරිපත් කරන අතර මෙය හාස්‍යජනක චරිතයකි. ගුරුහාමිගේ සහ සොකරීගේ ‍සේවකයා ලෙස ක්‍රියා කරනු ලබයි.

 

වෙදරාළ - ගුරුහාමි සහ සොකරී ජීවත් වූ ගම්මානයේ සිටින වෙද මහත්තයා මොහුය. මොහුද වෙස්මුහුණක් පැළදගෙන සිටින අතර කුදු ගැසුනු පුද්ගලයෙකු සේ ක්‍රියා කරනු ලබයි.