අම්මා : වහිනවා වහිනවා ඉවරයක් නෑ. එළියටවත් බහින්න බෑ. නෝවාගේ කාලයේ සිදුවුණ ජලගැල්ම වගේ.
පුතා : මොකක් ද අම්මේ ඒ සිදුවීම?
අම්මා : පුතේ, දෙවි පියාණන් වහන්සේ මිනිසුන්ට ගොඩක් ආදරය කළා. ඒ වුණාට මිනිසුන් නපුරු ක්රියා කළා. ඒ ගැන දෙවි පියා කනගාටු වුණා. එම හේතුව නිසා ඔවුන්ට දඬුවමක් ලැබුණා.
දෙවි පියාට ඉතා ආදරයෙන් කීකරු ව සිටි කෙනෙක් තමයි නෝවා. කිසි ම දවසක නපුරු වැඩ කළේ නැහැ. එම නිසා දෙවි පියාගේ අනුකම්පාව නෝවාට ලැබුණා. දඬුවමින් නෝවා බේර ගන්න සිතූ දෙවි පියා නෝවාට කතා කරලා ලොකු ජලගැල්මක් එවන බව පැවසුවා.
නෝවා ඒ බව කියා ජනතාවට අවවාද කළා. ඒත් ඒ අය තම නරක වැඩ අත හැරියේ නෑ. දෙවි පියාගෙ හඬට කීකරු වූ නෝවා තම පුතුන් සමග එකතු වී විශාල නැවක් හැදුවා. නැව සාදා නිම කරන්න අවුරුදු දෙකක් පමණ කල් ගියා.
දෙවි පියාණන් පැවසූ ලෙසට ම ඔහුගේ පවුලේ සියලූ දෙනාත් හැම වර්ගයකට ම අයත් සතුන්ගෙන් ජෝඩුව බැගිනුත් නැවට ඇතුළු කර ගත්තා. දෙවිපියා නැවේ දොර වසා දැමුවා. වැස්ස පටන් ගත්තා.
පුතා : දවස් කීයක් වැස්ස ද අම්මේ?
අම්මා : දවස් හතළිහක් ම නොනවත්වා වැස්සා. ලොකු ගංවතුරකින් ලෝකය ම විනාශ වුණා. නැවේ සිටි අය පමණක් බේරුණා. වැස්ස නතර වෙලා ජලය බැස ගියා.
නෝවා සහ නැවේ සිටිය සියලූ දෙනා ම නැවෙන් එළියට පැමිණියා. නෝවා දෙවි පියාට තුති පිදුවා. සියල්ලෝ ම දෙව් අණට කීකරු වෙමින් අලූත් ජීවිතයක් ගත කළා. ඒ නිසා දෙවිපියා අපට අනුකම්පා කර ආදරයේ සලකුණක් දුන්නා.
පුතා : ඒ මොකක්ද අම්මේ?
අම්මා : ඒ තමයි අහසේ පායන ලස්සන දේදුන්න.