19 - ගත හැකි දෙය වැඩට අහක නොදමනු කිසි විට

මිනුදි, සෙතුමිගේ හොඳ ම යෙහෙළියයි. දවසක් මිනුදි සෙතුමිගේ ගෙදර ගියා. දෙදෙනා සෙල්ලම් බත් ඉවීමට පොල්කටු සෙවුවා. එවිට සෙතුමිගේ අම්මා පොල්කටු ගොඩ පෙන්නුවා.

මිනුදි : මේ තියෙන්නෙ පොල්කටු ගොඩාක්.

සෙතුමි : අපේ ගෙදර පොල්කටුවලට කරන්න දෙයක් නෑ. අම්මා කියන්නේ ප්‍රයෝජනයක් ගත හැකි කෙනකුට මේවා දෙමු කියලා.

මිනුදි : අපේ ගෙදරට එහා ගෙදර මාමා පොල්කටුවලින් විසිතුරු බඩු හදලා විකුණනවා. අපි දුන්නොත් මාමා මේ පොල්කටුවලින් ප්‍රයෝජන ගනීවි.

සෙතුමි : එහෙනම් අපේ අම්මත් එක්ක කතා කරලා මේ පොල්කටු ටික ඒ මාමාට දෙමු.

සෙතුමිත් මිනුදිත් සතුටින් මේ ගැන අම්මාට කිවුවා.

අම්මා : ඔව් පුතේ, මම මේ පොල්කටු එකතු කළේ කාට හරි දෙන්න. අපට වැඩක් ගත නොහැකි දෙයක් තව කෙනකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. අපි ඒ නිසා මේවා ඒ මාමාට දෙමු.

පහත සඳහන් කවියෙන් කියවෙන්නේත් ඒ වගේ ම අදහසක් අපි ඒ කවිය කියවමු.

ගත හැකි දෙය වැඩට
අහක නොදමනු කිසි විට
වැඩ නැති දෙය නුඹට
දෙනුව ඉන් වැඩ ගන්න අය හට

සිරිත් මල්දම
(ඇම්. ඇල්. සිල්වා ගුරු මුහන්දිරම් මහතා)

කවියේ තේරුම :-
ප්‍රයෝජනයට ගත හැකි දෙයක් කිසි විටක අහක නොදමන්න. ප්‍රයෝජනවත් නොවන දෙය ඉවත නොදා එය ප්‍රයෝජනයට ගත හැකි අයකුට දෙන්න.