අපි උදෑසනින් ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියෙමු. ඒ බදුල්ලේ යෑමට යි.
තාත්තා ප්රවේශපත් මිල දී ගත්තේ ය. දුම්රිය කාල සටහන ද කියවා බැලූවේ ය. අපි ගමන් මලූ රැගෙන බදුලූ දුම්රිය නවත්වන වේදිකාවට ගියෙමු.
ශබ්ද විකාශන යන්ත්රයෙන් වරින් වර දුම්රිය ගමන් තොරතුරු නිවේදනය විය.
"පස් වන වේදිකාවේ නවත්වා ඇති දුම්රිය තව ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වේ. එය කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා සෑම දුම්රිය ස්ථානයක ම නතර කරනවා ඇත."
නංගීත් මමත් ඒ නිවේදනයේ වාක්යයක් දෙකක් තාලයට කියා විනෝද වූයෙමු. නංගී නිවේදන අසමින් තම සටහන් පොතේ, දුම්රිය ස්ථානවල නම් ලියා ගත්තා ය. ගමනක් යද්දී අවට ඇති දැන්වීම්, නාම පුවරු කියවීම ද ඇගේ පුරුද්දකි.
ගෑරුප්පුවක්, හැන්දක් සහ පිඟානක් යෙදූ සංකේතයක් ආපණ ශාලාව ඉදිරියේ තිබිණි. ගැහැනු පිරිමි රූප සංකේත දොරටුවේ තිබීම නිසා වැසිකිළිය හඳුනා ගැනීමට පහසු ය. අදාළ දිශා දැක්වීමට ඊතල ද ඇඳ තිබිණ. නංගී ඒ සංකේත ද සටහන් පොතේ ඇන්දා ය.
"කවුද ආච්චි අම්මේ කෝච්චිය පදවන්නේ?"
දුම්රිය රියැදුරු ගැන ආච්චි අම්මා විස්තර කළා ය.
"අර පිටිපස්සෙ ම පෙට්ටියේ සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ කවුද?" නංගී ඇසුවා ය.
"ඒ තමයි දුම්රිය නියාමක." ආච්චි අම්මා පැවසුවා ය.
"දුම්රිය නියාමක මාමා කොළ කොඩියක් වනන්නේ මොකට ද? ඒ ප්රශ්නය ඇසුවේ ද නංගී ය.
"දුවේ, කොළ කොඩිය වනන්නේ ‘ගමන අරඹන්න.’ රතු කොඩිය වනන්නේ ‘නවත්වන්න’ කියලා කියන්න. අනතුරකදිත් රතු කොඩිය වනනවා."
බදුල්ල බලා යන දුම්රිය වේදිකාවට පැමිණියේ ය.
අපි පරිස්සමෙන් දුම්රියට නැගුණෙමු. සියලූ දෙනා දෙපස ආසනවල අසුන් ගත්තේ ඉතා සතුටිනි.
"අත්තම්මේ රෑට කෝච්චියේ කොඩි වැනුවට පේන්නේ නැහැ නේද?" මම ඇසුවෙමි.
"නැහැ පුතේ, රෑට කොළ, රතු විදුලි පන්දම් එළිවලින් තමයි සංඥා දෙන්නේ," පිළිතුරු දුන්නේ තාත්තා ය.
ආතා අපට කතාවක් කියා දුන්නේ ය. ඒ කෝච්චි පාරේ අවදානමක් දැක රතු කමිසයක් වනා කෝච්චිය නවත්වා ගත් පුංචි වීරයකු ගැන යි.
"දුව සටහන් පොතේ මොනවා ද ලියා ගත්තේ?" අම්මා ඇසුවා ය.
"පහු වුණු දුම්රිය ස්ථානවල නම් ලිවුවා. දුම්රිය ස්ථානයේ තිබුණු සංකේත ඇඳ ගත්තා," නංගී කීවේ සතුටිනි.
"හෙට අපි ඇවිදින්න ගියා ම දුවට තව හුඟාක් දේවල් ලියා ගන්න පුළුවන් වෙයි." ආච්චි අම්මා කීවා ය.
"පුතා මොක ද බර කල්පනාවක?" ආතා ඇසී ය.
"මමත් ආතා කියූ කතාවේ හිටපු ළමයා වගේ හොඳ වැඩක් කරන්න ඕනෑ." මම කීවෙමි.
"කොච්චර හොඳ ද පුතේ" ආතා කීවේ සතුටිනි.
"දැන් බදුල්ලට ළඟයි. කෝච්චිය නැවැත්තුවා ම පරිස්සමෙන් බහින්න ඕනෑ." තාත්තා කීවේ ය.
දුම්රිය නැවැත්වී ය. නංගීත් මමත් එයින් බැස ගත්තේ හෙට දිනයේ බොහෝ දේවල් දකින බලාපොරොත්තුවෙනි.