14 - පිරිසිදුකම රැකගනිමු

පිරිසිදුකම සැවොම ප්‍රිය කරන දෙයකි. මිනිසුන් වන අප සැමවිට ම පිරිසිදු ව සිටිය යුතු ය. පිරිසිදු ව සිටීම මගින් නීරෝගී භාවය හා උද්යෝගීමත්කම ඇති වේ.

ඉස්ලාම් දහම පිරිසිදුව සිටීම අවධාරණය කරයි. අල්ලාහ් පිරිසිදුව සිටින්නන් හට දයාව දක්වයි. "පිරිසිදුකම ඊමානයේ අඩකි" යැයි නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ.

අප අපගේ සිරුර සැම විට ම පිරිසිදු ව තබාගත යුතු ය. එම නිසා උදෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මදිමු. දිනපතා අත්, පා, මුහුණ සෝදා පිරිසිදු ව සිටිමු.

කිලිටි ඉවත් කර, දිය නා ශරීරය පිරිසිදු ව තබා ගනිමු.

සතිපතා නියපොතු කපමු.

හිස කෙස් මනා ලෙස කපා, දිනපතා හිස තෙල් ගල්වා, පීරා අලංකාර ව සිටිමු;

පිරිසිදු ව ඇඳුම් අඳිමු; සුවඳ විලවුන් ගල්වා ගනිමු.

පාසල් නිල ඇඳුම, සපත්තු, පොත් බෑගය, පොත් පත් යනාදිය නිතර පිරිසිදු ව හා පිළිවෙළට තබා ගනිමු.

සුදුසු ඇඳුම් පැලඳුම් පමණක් පාසලට ඇඳ පැලඳ ඒමට පුරුදුවෙමු.

නිවසේ භාණ්ඩ පිරිසිදු ව තබා ගනිමු.

සියලූ ම භාණ්ඩ අදාළ ස්ථානයන්හි තැබීමට පුරුදු වෙමු.

ඇඳුම් සෝදා, වේළා, නමා ඒ ඒ අදාළ ස්ථානයන්හි පිළිවෙළින් තබමු.

"කෙනෙකු තම වැඩ කටයුතු පිළිවෙළට ඉටු කිරීම, අල්ලාහ් ප්‍රිය කරයි" යන නබි වදනට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමට අපි අද පටන් අදිටන් කර ගනිමු.