3 - දේව මැවිල්ල විස්මිතයි

දෙවියන් වහන්සේ ලෝකය මවා ඒදන් උයන මැවූ අන්දමත්, ගස්-වැල්, ඇළ-දොළ, ගංගා සහ පොළොව යට අගනා වස සම්පත් ලබා දුන් ආකාරයත් ඉහත පාඩම්වල දී අපි උගත්තෙමු.

දෙවියන් වහන්සේ විසින් මවන ලද සුළඟ, වර්ෂාව සමග දේශගුණික රටාවේ අපූර්ව බව මේ පාඩමේ දී සලකා බැලේ. අපේ රටට වර්ෂාව ලැබෙන ප්‍රධාන ආකාරයක් වන්නේ මෝසම් සුළං ය. මෝසම් සුළං මගින් ලැබෙන වර්ෂාව එනම් මෝසම් වැසි අවුරුද්දකට දෙවාරයක් ලැබේ. මේ වැසි ලැබෙන කාල අනුව අපේ රටේ වී වගාව කාල දෙකක දී සිදු කෙරේ. ඒ යල කන්නය සහ මහ කන්නයයි. මේ කාලවල දී ලැබෙන වර්ෂාව හේතු කොට ගෙන වී වපුරනු ලැබේ. එසේ වගාකර වැඩෙන පැළවලින් ලැබෙන අස්වැන්න නිසි කාලයට නෙළනු ලැබේ.

දෙවි පියාණන්  වහන්සේ නිසි කලට ලබා දෙන වැස්ස, සුළං, හිරුඑළිය නිසා මිනිස්සුන්ට වී වගා කර අස්වැන්න ලබා ගෙන තම ආහාර සපයා ගැනීමට හැකියාව ලැබී තිබේ. එ  බව පහත සඳහන් ගීතිකාවෙන් ද කියැවෙයි.

හී හාලා කෙත්වල ද
ගොඩ ද වපුරයි
ඒ දෙව් බෙලෙන් තෙද
පැළ වෙමින් වැඩෙයි
සීත කල්හි පිනි ද
රස්නේ ද වැඩෙන්ට
එහි හිරු රැස් සුළං ද
වැස්ස ද කලට

සැම හොඳ මේ ලෙව්
සගෙන් වේ අපට
ගී පසසව් ගී පසසව්
සමිඳුන්ට

දෙවියන් වහන්සේ අප ජීවත් වන ලෝකයට එනම් පෘථීවි ගෝලයට ඉහළින් වායුගෝලයක් ද මැවූ සේක. පෘථීවි ගෝලයට වැටෙන දැඩි හිරු රැසින් එය ආවරණය කිරීමට ඕසෝන් ස්තරය කියා වියනක් ද තිබේ. සූර්ය කිරණ සමග නිකුත් වන අහිතකර කිරණවලින් පොළෝ තලය ආරක්ෂා කෙරෙන්නේ මේ ඕසෝන් වියන මගිනි. දැන් මේ ඕසෝන් වියන සිදුරු වෙමින් පැවතීම කනගාටුවට කරුණක් වී ඇත.

දෙවියන් වහන්සේ අපට ලබා දුන් මේ වටිනා ඕසෝන් පටලය මිනිසාගේ අහිතකර ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවති.

ඕසෝන් වියන විනාශවීම නිසා ඇති වන අයහපත් ප්‍රතිඵල

  • මිනිසා විවිධ රෝගවලට ගොදුරුවීම (උදා : සමේ රෝග, ඇස් පෙනීමේ දුර්වලතා)
  • ශාක වර්ධනය අඩුවීම නිසා වනාන්තර විනාශවීම
  • සාගරයේ ඇති මුහුදු පැළෑටි හා මත්ස්‍යය වර්ධනය අඩුවීම
  • වායුගෝලය උණුසුම්වීම
  • දේශගුණික රටාව වෙනස්වීම

එම නිසා ඕසෝන් පටලය විනාශවීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම අප සියලූ දෙනා සතු යුතුකමකි.

කෙත්වතු සරු කරන යල සහ මහ කන්න ගැන දෙවි
පියාණන්ට ස්තූති වේවා!

කටපාඩම් පදය
ඔබ පොළොව දෙස බලා එයට වැහි වස්වා, එය සරු සාර
කරන සේක. අහස් ගඟ දිය දහරින් පිරී ඇත. ඔබ පොළොව
මෙසේ පිළියෙල කොට ධාන්‍ය සපයා දෙන සේක.
ගීතාවලිය 65:9