3 - පොත් කුරුල්ලා

ඉස්කෝලේ නිවාඩුවට පොත් සාප්පුවේ
පොතින් පොතට පියඹා යමි හරි සැහැල්ලූවේ
තාත්තාගෙ කොටු කමිසයෙ උඩ සාක්කුවේ
බර අඩු වෙනවා දැක්කම ඇති කියා හිතේ 

ඇතෙක් බරට තෑගි ලැබුණු පොත් ගොඩක් ඇතේ
පොතින් පොතට මං ගිය දුර දුටු කෙනෙකු නැතේ
කවි - රචනා - කතා - ගීත ලියූ කොළ ගොඩේ
නමක් නැතත් කියවූ පොත් මතකයේ ඇතේ

පොතයි - නෙතයි - අතයි - හිතයි එකට එක් වෙලා
ඇඳේ වැටී පුටුවෙ ඇදී පොළොවෙ වැතිරිලා
තුරු සෙවණේ මල් සුවඳේ හීනයක් වෙලා
පිටු අතරින් ඉගිළෙමි පොත් කුරුල්ලෙකු වෙලා


සතුටු කෝච්චිය
විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි