15 - පොත් ගුල් මැදිරිය

සිසිර ඉසුඹුවට පසු සිසුහු පාසල වෙත පැමිණියහ. විස්මිත දෙයක් දක්නට ලැබී ඔවුහු සතුටෙන් කෑ ගසන්නට වූහ. පන්ති කාමර මැදිරිපෙළට විරුද්ධ පැත්තෙන් රැස්වීම් හල අසල මල් පාත්ති පසු පස,නව මැදිරිය නැඟී සිටියේ ය. ඔවුන් නො සිටි දිනවල එය පොත්ගුලක් බවට පෙරැළී තිබිණ. සියලූ ම දෙනා ගරු කළ, හැම වැඩක්ම කිරීමට සමත් මුරකරු වූ රියෝ චං බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කර තිබිණි. පොත් රාක්ක විශාල ගණනක් සවි කොට, සියලූ ම වර්ගවල වර්ණවත් පොත් පේළිවලින් ඒවා පුරවා තිබිණ. හිඳ ගෙන කියැවීම සඳහා පුටු සහ මේස තබා තිබිණි.

"මේ ඔයාලාගේ පොත් ගුල" මුල් ගුරුතුමා කීවේ ය. "මේ ඕනෑ ම පොතක් ඕනෑ ම අයකුට කියවන්න පුළුවන්. සමහර පොත් සමහර පන්තිවලට වෙන් කර ඇතැයි බය වෙන්න ඕන නෑ. ඔයාලා කැමැති ඕනෑ ම වෙලාවක මෙහි එන්න පුළුවන්. පොතක් ලබා ගෙන ගෙදර යන්න ඕනෑ නම්, ඒකටත් අවසර තියෙනවා. හැබැයි, කියවා අවසන්වූ හැටියේ ම, ඒක ආපසු ගෙනැවිත් බාර දෙන්න ඕනෑ. ඔයාලාගේ ගෙවල්වලත් පොත් ඇති. ඒවා කියවන්න අනෙක් අයත් ආසයි. ඒනිසා ඔයාලා ළඟ තියෙන පොතුත් මෙහේ ගෙන එන්න. ඔයාලට පුළුවන් තරම් වේගයෙන් හැකි තරම් පොත් කියවන්න.”

"අද පුස්තකාල පන්තියක් කරමු." ළමයි එක හඬින් කීහ.

"ඔයාලා කැමැති එහෙම ද?" මුල් ගුරුතුමා විමැසුවේ ය. පිනා සිටි ළමයින් දෙස බලා, "හරි හරි, එහෙම කරමු" යි කීවේ ය.

එවිට ම ටොමෝවේ සිසු කැලත ම පනස් දෙනා ම, පොත් ගුල් මැදිරිය තුළ රොක් වූහ. තම තමන් කැමැති පොත් රැගෙන ඔවුහු හිඳ ගැනීමට පොර කෑහ. එහෙත් අඩකට වඩා ආසන නො වී ය. අසුන් නොලද්දෝ සිට ගෙන උන්හ. එය හරියට ම මගීන් සිට ගෙන පොත් කියවන තදබද දුම්රිය මැදිරියක් වැනි විය. එය පියකරු දසුනක් වූයේ ය.

සිසුහු බොහෝ සේ පිනා ගියහ. ටොට්ටෝ චංට තාමත් හොඳින් කියවීමට අපහසු නිසා, ඇය පින්තූර සහිත රසවත් යැයි පෙනීගිය පොතක් ගත්තා ය. හැම සිසුවකු ම අතෙහි පොතැතිව පිටු පෙරළන්නට වූ විට, හදිසියේ ම මැදිරිය නිහඬ විය. එහෙත් බොහෝ වේලාවකට නො වේ. හඬ රැසක් නිහඬතාව බින්දේ ය. සමහරුන්ට පොත් මාරු කර ගැනීමට අවශ්‍ය විය. මැදිරිය සිනාවෙන් පිරී ගියේ ය.

'ගයනා සිතුවම්' නමැති පොතක් කියැවීම ඇරැඹූ සිසුවෙක් කිංකිණි නාදයෙන් ගීයක් ගයන්නට විය.

"වට එකක් සහ තිතක් වට එකක් සහ තිතක්
නාසයට, සිවු ඉරක් වට එකක් සහ තිතක්
කෙස් තුනක් කෙස් තුනක් හහහා! කෙස් තුනක්
ඇසි පියක සැණෙන් එයි තරබාරු ලිය හිසක්!"

කුඩා වට තුන විශාල වටයකින් වට කළ යුතු වූ අතර, අඩ වට තුනක් ඇසි පිය හෙළන සැණින් ඇඳිය යුතු විය. සියල්ල නිවැරදිව කළ හැකි වී නම් කාන්තාවකගේ පැරණි කොණ්ඩා මෝස්තරයක් ලැබෙනු ඇත.