18 - යහපත් දේ කරමු අයහපත වලකමු

අපි සැවොම යහපත් ක්‍රියා ප්‍රිය කරන්නෙමු. අයහපත් ක්‍රියා පිළිකුල් කරමු. අල්ලාහ් යහපත් ක්‍රියා කිරීමට අණ කරන්නේ ය. අයහපත වළක්වන්නේ ය. යහපත් දෙයට සහාය දැක්වීම ද අයහපත් දෙයින් මිදීම ද මිනිසාගේ උතුම් ගුණාංගයකි. මක් නිසා ද යත් යහපත් දෙයින් මිනිසාට යහපතක් ම වෙයි. අයහපත් දෙයින් ඔහුට අයහපතක් ම වෙයි. ලොවේ යහපත් දේ වැඩි විය යුතු ය. නරක දේ තුරන් විය යුතු ය. මෙය මිනිසුන් සැම දෙනාගේ බලාපොරොත්තුව ද වන්නේ ය. අල්ලාහ් ද එය ප්‍රිය කරයි.

ලොව බිහි වූ සියලූ නබිවරු යහපත කරන මෙන් අණ කළෝ ය. අයහපත වැළැක්වූහ. එසේ අණ කළ දේ හලාල් යැයි ද වැළැක්වූ දේ හරාම් යැයි ද හැඳින්වේ. සත්‍යය කතා කිරීම, සිරිත් විරිත් පිළිපැදීම, සන්සුන් භාවය ඇති කිරීම, අවංක වීම, යුක්තිය ඉටු කිරීම යනාදිය යහපත් ක්‍රියාවලින් සමහරකි. බොරු කීම, සිරිත් විරිත් කඩ කිරීම, සණ්ඩු සරුවල්වල නිරත වීම සමාජයේ කෝලාහල මතු කිරීම, හොඳින් දැන අපරාධවලට සහයෝගය දැක්වීම යනාදිය අයහපත් ක්‍රියා වෙයි.

යහපත් දෙය ප්‍රිය කිරීමට ද නරක දෙය පිළිකුල් කිරීමට ද මිනිසාට විවිධ හේතු තිබේ. ලොවෙහි සාමය උදා වීමට නම් යහපත් දේ වැඩි විය යුතු ය. අයහපත් දේ අඩු විය යුතු ය. නොදැනුවත්කම, තණ්හාව, නරක මිතුරන්, නරක වටා පිටාව, ආදිය මිනිසා වැරදි මාර්ගයට ඇද දමන්නේ ය. ඒවා නැති කිරීමට අවශ්‍ය මගපෙන්වීම ඉස්ලාම් අපට ලබා දෙන්නේ ය.

අල්ලාහ් මෙසේ පවසන්නේ ය. "නුඹලා (ජනයාට) යහපත විධානය කරන්නෙහු ය. තව ද නුඹලා පිළිකුල් දැයින් වළක්වන්නෙහු ය. තව ද අල්ලාහ්ව නුඹලා විශ්වාස කරන්නෙහු ය." (3:110)

ඔබෙන් කෙනෙකු මෙහි යහපත අණ කිරීම ද අයහපත වැළැක්වීම ද උතුම් සමාජයක ක්‍රියා පටිපාටියක් ලෙස දක්වයි. ඔබෙන් කෙනෙකු අයහපත් දේ දුටු විට එය තම අතින් වළක්වන්න. එයට ශක්තිය නොමැති නම් වචනයෙන් වළක්වන්න. එයට ද ශක්තිය නොමැති නම් මනසින් වළක්වන්න යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාණෝ දැනුවත් කර ඇත්තෝ ය.

අපට නරක දේ පහසුවෙන් අවබෝධ කර ගත හැකි ය. එවැන්නක් සිදු වන විට මිනිස් සිත ඔහු කලඹවයි. අප කරන වැරදි පාපය හෝ නරක දේ අන් අයට දැන ගත නොහැකි වන සේ වසං කිරීම ආගමට හා සමාජයට පටහැනි වූ ක්‍රියාවකි.

ඉස්ලාම් දහම යහපත කිරීම අනිවාර්ය කරන්නේ ය. එය කිරීම මගින් සිතට සහනයක් ලැබෙන්නේ ය. අල්ලාහ්ගේ දයාව හා එයට අදාළ කුසල හිමි වන්නේ ය. අප කරන යහ ක්‍රියා බලා අන් අය තෘප්තිමත් වන්නෝ ය. ඔවුහු 'අප ද එසේ කළ යුතුයැයි පොලඹවනු ලබන්නෝ ය.

යහපත කිරීම ද අයහපත නොකර සිටීම ද මුස්ලිම්වරයකු සතු වගකීමකි. මෙම සේවය මුස්ලිම්වරුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ ඉටු කිරීම අනිවාර්ය ය.

අයහපත යනු අල්ලාහ් විසින් වැළැක්වූ, පිළිකුල් සහගත, නින්දිත හා අල්ලාහ්ගේ කෝපයට පාත්‍ර වූවක් ලෙස ද තිබෙන්නේ ය. එනිසා පාපයක් සිදුවන ස්ථානයකට යාම, ඒවා කෙරෙහි උනන්දු කරවීම හෝ ඒවා කිරීමෙන් වැළකීසිටීම කළ යුතු ය. අයහපත් දේ කරන්නන් සමග හවුල් වීම, ඇසුරු කිරීම හෝ ඔවුන් කරන අයහපත් දේවලට සහයෝගය දැක්වීම හෝ නොකළ යුතු ය. හැකි නම් ඔවුන් එම අයහපත් දේවලින් මුදවා ගැනීමේ ක්‍රියා මාර්ග පෞද්ගලික වශයෙන් හා සාමූහික වශයෙන් අත්හදා බැලිය යුතු ය.

අල් කුර්ආනය හා සුන්නාහ් පැවසුවේ යහපත් දේ අණ කර අයහපත් දේ වළක්වන ලෙස පමණක් නොවේ. එහි යහපත කුමක් ද අයහපත කුමක් ද යන්න ද පෙන්වා දී ඇත්තේ ය.

එනිසා,

  • යහපත් දේ සොයා දැන ගනිමු.
  • එය අන් අයට ද පිළිපදින ලෙස උපදෙස් දෙමු.
  • අයහපත හඳුනා ගනිමු. එය පිළිකුල් කර එයින් ඈත් වෙමු.
  • අන් අයට ද අයහපත් දේ කිරීමට ඉඩ නොදී වළක්වමු.