2 - සුබ්හාන මව්ලානා

අහස මැවූ දෙවිඳුනි
පොළොව මැවූ දෙවිඳුනි
නැමදුමට සුදුසු දෙවිඳුනි
මහා බලසම්පන්න යා අල්ලාහ්

දයාවෙහි උල්පත නුඹ ම ය
දායාදයන්හි ප්‍රතිරූපය ද නුඹ ම ය
සිත පිරී ඇත්තේ ද නුඹෙන් ම ය
නිතර සිහි කරනුයේ ද නුඹ ම ය

මිනිසා නුඹ අමතක කරන්නේ ය
අනතුරුව පසට නමදින්නේ ය
ගස් වැලට ද වැඳ පුදන්නේ ය
නුඹේ මහිමය අහිමි වන්නේ ය

මලක්වරුන්ගේ සභාවන්හි
උසස් වන්නේ නුඹ වන්නෙහි
අසීමිත නුඹ පැසසුම ඉදිරියෙහි
අපි වන්නෙමු කන්නලව්වෙහි

නුඹ ය අපට පෙනුම දුන්නේ
එමගිනි අපි පාඩම් ලබන්නේ
මැවුම් රැසක් මවාලන්නේ
එමගිනි නුඹේ ශක්තිය වැටහෙන්නේ

 සිවු දෙසින් බැලූව ද සාධක රැස ඇත්තේ
සියල්ලට ම සමානයන් එමට ඇත්තේ
එහෙත් දෙවිඳුනි ඔබට සම විය යුත්තේ
වෙනත් කිසිවක් කිසි තැනක නැත්තේ

සීමාවක් නැති දායාද සැම දා
ලොව තුළ මැවූයේ නුඹ ම ය එදා
ඒ සියල්ල මැකී යන දා
නොමැකී සිටින්නේ නුඹ ම ය සදා

දුක කනගාටුව ඇති වන විට දී
නිරතුරු අප සමග නුඹ සිටී
පසසමු නුඹ හැකි සැම විට දී
ඕ! රහ්මාන් නුඹ පමණකි පිවිතුරු අපට ලැදී
අප බර ඉවත් කරලන්නා
ජීවිතේ සුවය ලබා දෙන්නා
ස්වර්ගය අප හට පිරිනමන්නා
සුබ්හාන මව්ලානා