13 - හජ්හි වැදගත්කම

ඉස්ලාමයේ පංච මහා යුතුකම්වලින් අවසාන යුතුකම හජ් වන්නේ ය. නබි ඉබ්රාහීම් අලෙයිහිස්සලාම්තුමා ද එතුමාගේ පවුලේ සාමාජිකයෝ ද අල්ලාහ්ගේ නියෝග මුළුමනින් ම ඉටු කිරීමට විවිධ පරිත්‍යාග කළෝ ය. එය සිහි ගැන්වීමක් ලෙස හජ් යුතුකම දක්නට ලැබේ.

ප්‍රමාණවත් ආර්ථීක පහසුකම් ද ශාරීරික ශක්තිය ද ඇති මුස්ලිම්වරුන් හට මෙය ජීවිතයේ එක් වතාවක් ඉටු කිරීම අනිවාර්ය යුතුකමක් වන්නේ ය. හජ් යුතුකම ඉටු කිරීමේ හැකියාව ඇති කෙනෙකු එය ඉටු නොකිරීම පාපයකි.

අල් කුර්ආනය හා සුන්නාව මෙම යුතුකමේ විශේෂත්වය හා වැදගත්කම පිළිබඳව මෙසේ සඳහන් කරයි.

"කවරෙකු එහි ගමන් කළ හැකි ශක්තිවන්තයින් ලෙස සිටින්නේ ද, එම මිනිසුන් හට අල්ලාහ් වෙනුවෙන් (එහි ගොස්) බයිතුල්ලාහ් හි හජ් කිරීම යුතුකමක් වේ. කවරෙකු හෝ (මෙය) ප්‍රතික්ෂේප කළේ නම් (එමගින් අල්ලාහ්ට කිසිවක් අඩු වන්නේ නැත. මක් නිසාද යත්) සැබවින් ම අල්ලාහ් මැවීම් මගින් කිසිදු අවශ්‍යතාවක් නොමැත්තකුව සිටියි." (3:97)

අල්ලාහ්ගේ නිවස කරා යාමට තරම් ප්‍රමාණවත් සුදුසුකම් හා ගමන් පහසුකම් ඇති කෙනෙකු හජ් නොකර සිටීම ඉස්ලාම් දහමෙන් ඉවත්වූවෙකු සේ වන වරදක් ලෙස ඉස්ලාම් දහම පෙන්වා දෙයි. මක් නිසා ද යත් "අල්ලාහ් වෙනුවෙන්
එහි යාමට තරම් ශක්තිය ඇති මිනිසා කෙරෙහි කඃබතුල්ලාහ් හි හජ් කිරීම වගකීමක්" බව අල්ලාහ් අල් කුර්ආනයේ පවසන්නේ යැයි නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ පැවසූහ. (තිර්මිදි)

"අනුන්ට වධ හිංසා නොකර, පාප ක්‍රියා වල නොයෙදී හජ් ඉටු කළ තැනැත්තා එදින උපන් ළදරුවකු මෙන් තම නිවස කරා පැමිණෙන්නේ ය." (බුහාරි)

 

හජ් යුතුකම ඉටුකිරීම මගින් බොහෝ ප්‍රයෝජන ලැබේ.

  • එය ඉටුකරන්නන්ගේ පාප ක්‍රියා කමා කෙරෙන්නේ ය.
  • ස්වර්ගයට යාමේ භාග්‍යය ඔහුට හිමි වන්නේ ය.
  • දුගී බවෙන් ඔහු ආරක්ෂාව ලබන්නේ ය.
  • ඔහු හජ් වෙනුවෙන් වැය කරන සෑම දිර්හමයකට ම (රුපියලකට) අල්ලාහ්ගෙන් ඔහුට හත්සිය ගුණයක කුසලයක් හිමි වෙන්නේ ය.
  • දුක් කරදර දරා ගැනීමේ ශක්තිය වර්ධනය වන්නේ ය.
  • කැප කිරීමේ ගුණාංගය වර්ධනය වන්නේ ය.

තවද මෙය ලෝකවාසී මුස්ලිම්වරුන්ගේ සහෝදරත්වය ද සමානත්වය ද පෙන්වන ප්‍රධාන වගකීමකි. සියලූ හාජිවරු එකම දිශාවෙන්, එකම භාෂාවෙන්, එකම ආකාරයේ ඇඳුමකින් ලබ්බෙයික් අල්ලාහුම්ම ලබ්බෙයික්. යයි පවසති තම මැවුම් කරු වන දෙවියන් සුවිශුද්ධ කරති. දෙවියන් අගය කරති. මෙහි ජාතිය, භාෂාව, දේශය ආදි වෙනස්කම් කිසිවක් දක්නට නොලැබේ.

සියලූ දෙනා අල්ලාහ්ගේ ගැත්තන්ය යන හැඟීමෙන් යුක්තව සිටිති.

මෙලෙස ලෝකවාසී මුස්ලිම්වරුන් විවිධ රටවලින් පැමිණ එක ම ස්ථානයක රැස්වීම මගින් ඔවුන්ට එකිනෙකා හඳුනා ගැනීමට ද සමාජීය කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව හිමි වන්නේ ය. මුස්ලිම්වරුන් ලොව විවිධ ප්‍රදේශවල ජීවත් වුව ද තමා තනි වූ පුද්ගලයකු නොව, ලෝකවාසී මුස්ලිම් උම්මත්වරුන් අතර තමා ද එක් සාමාජිකයෙකි යන හැඟීම බලවත් කරවන අයුරින් මෙම යුතුකම හැඩගැසී තිබෙන්නේ ය.

එබැවින් හජ් යුතුකම ඉටු කිරීමේ භාග්‍යය අපට ද ලැබිය යුතුය යනුවෙන් ද, එමගින් අල්ලාහ් අප සියලූ දෙනාට ම දේව කරුණාව ලබා ගැනීමේ වාසනාව ලබා දෙත්වා යනුවෙන් ද ප්‍රාර්ථනා කරමු.