අතීතයේ ජීවත් වූ මිනිස්සු සිය පාළුව, කාන්සිය නැති කර ගැනීමට, මහන්සිය දුරු කර ගැනීමට, විනෝදයට කවි ගායනා කළහ. කටින් කට පැවතී විත් අද වන විට පොත්පත්වලට ද ඇතුළත් වී ඇති මේවා ජන කවි ලෙස හැඳින්වෙයි. කුඹුරේ, පැලේ, පතලේ ආදි වැඩ කරන ස්ථානවල දී ගැයුණු කවි, නෙළුම් කවි, ගොයම් කවි, පතල් කවි, පැල් කවි, පාරු කවි, ගැල් කවි ආදි වශයෙන් වර්ග කළ හැකි ය. මේ පාඩමට ඇතුළත් වන්නේ ගොයම් කවි, නෙළුම් කවි, පතල් කවි හා පැල් කවි කිහිපයකි. ඒවා ගයමින් රස විඳිමු.
ගිමන් හැර ගොසින් නැමිලා නෙළන කොට
මුවෙන් සිනා සී වටපිට බලන කොට
සවන් නමා රසකර කවි අසන්නට
පටන් ගන්න කවි සීපද කියන්නට
කනට මිහිරි රසවත් කවි කියමින්
වෙහෙස මහන්සිය දුරු කර ගනිමින්
පස්සෙන් පස්සට පියවර නඟමින්
සුන්දර තාලෙට නෙළමුව විගසින්
අලංකාර කෙත සැදුවේ රජවර
සයංජාත රත් හැල් ගෙන ගොඩ කර
සුදම් දිවිය පුරයක් වැනි හැම වර
ගොයම් සැදුණ හැටි අසනු ය විස්තර
ඇසී නාද හඬ බඹරුගෙ ලීලා
පැසී ගොයම් පත් කිරට නැමීලා
ගැසී සුළං වාතෙට ඉති නැමිලා
පැසී ගොයම් කෙත සුරපුර ලීලා
දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
බැසලා බඹ තිහක් කළු ගල සිදුරු කළේ
බස්නාහිර දෝනාවක් ද සවි කළේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතලෙ
ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදා ද මව්පියො දකින්නට
පෙර කලේ තැනූ පැල දැන් දිරාලා
එම කලේ බැඳපු වැට ගොනු කඩාලා
පැල්පතේ ගොයම් රෑ රැක බලාලා
නිදිමතේ කියමි පැල් කවි ගොතාලා
යහපත් මිතුර ඉන්නා ඔය ඉහළ පැලේ
කොහොමත් බැරිය නවතන්නට ඌරු රැළේ
කියතොත් තදට උන් බිය වී දුවති කැලේ
කියතොත් තරගෙට ම සිවුපද කියමු පැලේ