9 - පන්සිල් රකිමු

01. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි

කිසි විට සතකු නොමරමි මම නොමරවමි
වෙන අය මරන විට අනුමත නොම කරමි
කඩු දුනු මුගුරු මගෙ දෑතින් බැහැරලමි
සතුනට දයාබර හිතවත් අයෙක් වෙමි

02. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

නුදුන් දෙයක් සොර සිතකින් නොගන්නෙමි
අනුන් ලවා සොරකම් නොකරවන්නෙමි
හොරෙන් ගැනුම අනුමත නොම කරන්නෙමි
ලැබෙන්නකින් සතුටු ව දිවි ගෙවන්නෙමි

03. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි

වයසට නොගැළපෙන කම් සැප දුරු කරමි
කුමරුට කුමරියට හිමි බඹසර වෙසෙමි
වරදට පොළඹවන අය ඇසුරට නොයමි
සැම විට චරිතයෙහි පිවිතුරු බව රකිමි

04. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි

බොරු බස් කියා කිසිවකු නොරවටන්නෙමි
කෙනෙකුන් ලවා බොරුවක් නොකියවන්නෙමි
බොරු බස් කීම අනුමත නොම කරන්නෙමි
සැබවක් වුව ද නිසි තැනක ම කියන්නෙමි

05. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි

දුම්වැටි මත්වතුර මත්කුඩු නොබොන්නෙමි
අන් කිසිවකු හටත් ඒවා නොදෙන්නෙමි
බොන්නකු වෙතොත් අනුමත නොම කරන්නෙමි
අන් සැම ලෙසින් මත් මත පිටු දකින්නෙමි

පව හැරදමා කුසලට සිත යොමන්නෙමි
හැකි හැම දෙනාමත් පාපෙන් වළක්වමි
පව අත හැරීමෙහි අනුසස් කියන්නෙමි
මෙලෙසින් සැබෑ පිරිසිදු සිල් රකින්නෙමි

සිල්පද පහ ආරක්ෂා කළ යුතු අයුරු මෙම කවි පන්තියෙන් පැහැදිලි කොට ඇත. පන්සිල් සුරැකීමේ දී සෑම සිල්පදයක් ම අංශ තුනකින් ආරක්ෂා කළ යුතු ය. එබැවින් එම සීලය ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලය යනුවෙන් හැඳින්වේ. එම අංශ තුන නම්,

  1. තමා වරදින් වැළකීම
  2. අන් අය ලවා වැරැදි නොකරවීම
  3. අන් අය කරන වැරැදි අනුමත නොකිරීම (වැරැදි කරන්නන් සඳහා අනුබල නොදීම) වශයෙනි.

ශීලය දෙයාකාර ය. ඉහත දක්වන ලද්දේ වැළකීම හෙවත් විරතියයි. එනම් නොකළ යුතු දේවල් ය. ශීලය සම්පූර්ණ වීමට කළ යුතු දේවල් ද බුදු දහම අපට පෙන්වා දෙයි. වාරිත්‍ර හෙවත් සමාදාන යනුවෙන් හැඳින්වෙන්නේ ඒවා ය. එනම්,

  1. තමා යහපතෙහි යෙදීම
  2. අන් අය ද යහපත් ක්‍රියාවන්ට යොමු කරවීම
  3. අනුන් කරන යහපත් ක්‍රියා අගය කිරීම යනුවෙනි.

පළමු සිල් පදය ගත් විට තමා ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රමාණවත් නොවේ. අන් අය ලවා ද ප්‍රාණඝාතය සිදු නොකළ යුතු ය. ප්‍රාණඝාතයෙහි යෙදෙන්නන්ට අනුබල දීම හෝ එම ක්‍රියාව අනුමත කිරීම හෝ නොකළ යුතු ය. ප්‍රාණඝාතයෙන් වැළකීම මෙන් ම සියලූ සත්ත්වයින්ට කරුණාවෙන් දයාවෙන් මෛත්‍රී සිතින් යුතු ව කටයුතු කිරීම, අන් අය ලවා ද එසේ කරවීම මෙන් ම සතුන්ගේ යහපත වෙනුවෙන් කරනු ලබන ක්‍රියා අගය කිරීම ද සිදු විය යුතු ය. දෙවන ශික්ෂා පදය සැලකූ විට තමා සොරකම් නොකිරීම, අන් අය ලවා නොකරවීම මෙන් ම අනුබල නොදීම ද කළ යුතු ය. එම ශික්ෂා පදයෙහි සමාදානය ලෙස අදහස් කරන්නේ අන් අයගේ දේපොළ ආරක්ෂා කිරීම, ඒ සඳහා අන් අය යොමු කරවීම ද, ආරක්ෂා කිරීමට අනුබල දීම ද වේ. ඒ අනුව සිල් පද පහ තුළ ම වැළකීමේ අංශයක් මෙන් ම හැසිරීමේ අංශයක් ද ඇත. පංචශීලය නිසි පරිදි ආරක්ෂා කිරීම යනු මෙම දෙඅංශයෙන් ම කටයුතු කිරීම බව අප තේරුම් ගත යුතු ය.