1 - නරි නයිදේ රැවටිච්චි

ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නො දැන සිටි මිනිස්සු ඔවුන්ගේ අත්දැකීම්, දැනුම කටින් කට පවත්වාගෙන ආවෝ ය. ඒවා වර්තමානයේ ජනශ්‍රැති (Folk lore) නමින් හැඳින්වෙයි. ජනකතා, පිරුළු, ජන කවි, ජන නාටක, උපහැරණ ආදිය එයට අයත් වේ. පොත පතෙහි නො ලියවුණ ද ජනශ්‍රැති, ඒවා බිහි වූ ජන සමාජයේ සාහිත්‍යාංගයක් ලෙස සැලකිණි. 

සිංහල සාහිත්‍යය පෝෂණයට ද ජනශ්‍රැතියේ දායකත්වය ලැබී ඇත. මුද්‍රණ ශිල්පය දියුණු වීමත් සමග කටින් කට පැවත ආ ජනශ්‍රැති එක් රැස් කොට ලියා තැබීමට ඇතැම් ලේඛකයෝ කටයුතු කළහ. ‘නරි නයිදේ රැවටිච්චී’ නම් ජන කතාව සිංහල ජනකතා සංග්‍රහ කරමින් ඒ. පී. ගුණරත්න විසින් සම්පාදිත වටු කිරිල්ලී සහ තවත් කතා නම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදි.

මේ කතාව ලියා ඇත්තේ අප ලියන ආකාරයට වඩා වෙනස් භාෂා විලාසයකින් බවත් වර්තමාන ව්‍යවහාරයේ නොමැති වචන හා යෙදුම් එහි ඇතුළත් බවත් ඔබට පෙනී යනු ඇත.

එකමත් එක ගමක ලොකු විලක් තිබුණා. මේ විලේ නිතර දිය හිඳෙන්නෙ නෑ. ඒ හින්දා මේ විලේ බොහොම වැවිලා තිබුණා ඕලූ, නෙලූම්, මානෙල්. ඒ වගේ ම කුඩමස්සනුත් බොහොම හිටියා. කුඩමස්සන් අල්ලා ගෙන කෑමට නිතර රැක ගෙන ඉන්න කිරිකොක්කු, මානකොක්කු, මැටිකොක්කු, කණකොක්කු එහෙමත් විලේ වටේට ම තැන් තැන්වල හිටියා. ඔහොම තියන අතරෙදි එක කාලෙක හත් අවුරුදු නියඟයක් ඇති වෙලා මේ විලත් ටිකෙන් ටික හිඳෙන්ට පටන් ගත්තා.

විල හිඳීගෙන යන කොට කොකුන්ට වඩ වඩා වාසි වෙන්ට පටන් ගත්තා. ඒ එක්ක ම මිනිස්සුත් ඇවිත් කරක් ගහලා කූඩා පාගලා කුඩමස්සන් අල්ලා ගෙන යන්ට පටන් ගත්තා. තවත් දිය අඩු වෙන කොට මිනිස්සු විලේ තැන් තැන්වල වැටි බැඳලා, දිය ඉහලා ඉන්න තරම් ඔක්කොම කුඩමස්සන් අල්ලා ගෙන ගියා. ඊට පස්සෙ විල ඔක්කොම කුඩමස්සන්ගෙන් හිස් උණා. ඉතින් විල එහෙම පිටින් ම කුඩමස්සන්ගෙන් හිස් උණා ම ඒ විලේ හිටිය මානකොක්කු දෙන්නෙක් කතා කර ගත්තා. "දැන් ඉතින් අපට මේ විල රැක ගෙන ඉඳලා ඇති කාරියක් නෑ. දැන් විලේ තියෙන්නෙ මඩ ටික විතරයි. කුඩමස්සනුත් නෑ. කෑමට වෙන දේකුත් නෑ. අපි ඉතින් ඉගිලිලා යමු වෙන රටක දිය ඇති විලක් බලා ගෙන” කියලා.

මේ දෙන්නා මෙහෙම විලෙන් පිට වෙලා යන්ට කතා කර ගන්න කොට එතන ළඟ හිටිය ඉබ්බෙක් මේ කතාවට කන් දී ගෙන හිටියා. එහෙම හිටලා අර මානකොකුන් දෙන්නාට කතා කරලා කීවා. "ඔය දෙන්නා නම් පින්වත් ඇත්තො. හිතූ වෙලාවක හිතූ රටකට පියාසර කර ගෙන යන්ට පුළුවනි. මාත් ඉතින් මෙච්චර කාලයක් මේ විලේ එකට හිටිය කෙනෙක් නේ. දිය ඇති තැනකට මාත් එක් කර ගෙන යන්ට බැරි ද?” කියලා.

මේ කතාවට මානකොක්කු දෙන්නා හිනා උණා. හිනා වෙලා කීවා "අනේ මෝඩ ඉබ්බෝ, අපි දෙන්නා පියාපත් ඇත්තන් නිසා පියාසර කර ගෙන යන්ට පුළුවනි. ඉබ්බන්ටත් පියාසර කරගෙන යන්ට පුළුවන් ද? ඉබ්බන්ට පියාපත් තියනවා ද?” කියලා.

මේ කතාවට ඉබ්බා කීවා "දුකට පත් උණ වෙලාවක පිහිටක් ඉල්ලන යාළුවකුට හිනා වීම ඒ තරම් වැදගත් කාරියක් නෙමෙයි. මගෙ ඉල්ලීම ගැන හිතා බැලීමයි යුතුකම. ඔය ඇත්තන්ගේ ඔය අලංකාර කළුපාට පියාපත් වගේ, ඔය අලංකාර දිග බෙල්ල වගේ අලංකාර මොළේකුත් තියෙන්ට පුළුවනි. මේ නාකි ගොරහැඩි ඉබි මොළේට කල්පනා නූණත් අහසත් පොළොවත් ජලයත් ගැන හොඳ ඉගෙනීමක් තියෙන ඔය ඇත්තන්ගේ උගත් මොළේට වැටහෙන්ට බැරිකමක් නෑ මේ අසරණයාට උපකාරයක් කරන හැටියක්” කියලා.

ඒ ගමන ආයෙත් අර මානකොක්කු දෙන්නාගෙන් එකෙක් කීවා "කොකුන් කැටුව ඉබ්බන්ට යන්ට පුළුවන් විදියක් ගැන අපට නම් හිතන්ට අමාරුයි. කරන්ට ඇත්තේ දිය තියෙන රටකට සේන්දු වෙන කල් පුරුදු පා ගමනෙන් නොනවත්තා ගමන් කරන එකයි. හාවුන් එක්ක තරගෙට දුවලා දිනන්ට පුළුවන් ඉබ්බකුට යොදුන් සීයක් හමාරක් යන්ට මහ කාලයක් ගත වෙන එකක් නෑ” කියලා.

ඉතින් ඉබ්බා තව තවත් පිංසෙණ්ඩු වෙන්ට පටන් ගත්තා. "මේ කරුණාවන්ත උගත් මිත්‍රයන් දෙන්නාගෙන් මේ අසරණ වයසක ඉබි පරාණෙට පිහිටක් නැත්නම්, ඉතින් ආයෙ ලබා ගන්ට වෙන්නෙ කාටත් බෑ නොකියා පිහිට වෙන මාරයාගෙ පිහිට තමා. දැන් මේ විලේ කුඩමස්සනුත් නෑ. ඕලූ, නෙලූම් ගස්වල අල, මල් වගේ දේකුත් නෑ. හෙට, මේ විලට එන මිනිසුන් මා පෙරළා බැඳ ගෙන යනවාට අනුමානයක් නෑ. අනේ යන තැනකට මාත් කැටුව යන්ට” කියලා. ඒ ගමන එක මානකොකෙක් කතා කරලා ඉබ්බාට කීවා "හොඳයි, එහෙනම්, මට කල්පනා වෙනවා එක උපායක්. ඒක ටිකක් අමාරු වැඩක්, ඒත් අපි කරන්නම්. හැබැයි මේ ඉබි උන්නැහෙ එක කාරණේකට එකඟ වෙන්ට ඕනෑ” කියලා.

ඉතින් ඉබ්බගෙ තියෙන ඕනෑකමේ මහත නිසා කාරණේ මොකක් ද අහන්නේවත් නැතුව එක පාරට ම කීවා "එක කාරණේකට නෙ මෙයි, දහ කාරණේකට උණත් මම එකඟ වෙන්නම්, හැබැයි යන තැනකට මාත් එක්ක ම යන්ට ඕනෑ" කියලා.

එතකොට අර කතා කරපු මානකොකා ආයෙමත් කීවා "එකඟ වෙන්ඩ ඕනෑ කාරණය මේකයි. ගමනෙ කෙළවරක් වෙලා බිමට බහින තෙක් කට අරින්ට බෑ. කිසි ම කතාවක් බෑ. මග තොට විස්තර අහන්ටවත් තව හුඟක් දුර ද, දැන් අපි කොයි හරියෙ ද? අව්ව බොහොම සැරයි නේ ද? ඔය වගේ කිසි ම දෙයක් ගැන කිසි ම කතාවක් කරන්ට, කොටින් ම කට අරින්ට තහනම්” කියලා.

ඉතින් ඉබ්බා පොරොන්දු උණා "කිසි ම කතාවක් කරනවා තියා කට අරින්ට හිතන්නෙවත් නෑ. කොහොම නමුත් මා කැටුව යාම විතරක් කරන්ට” කියලා. එහෙම ඉබ්බා එකඟ උණා ම එක මානකොකෙක් හයිය ඇති කෝටු කෑල්ලක් හොයා ගෙන ආවා. හොයා ගෙන ඇවිත් ඉබ්බාට කීවා "මෙන්න මේ ලී කෝටුව මැද හයියෙන් කටින් ඩැහැ ගන්ට. හොඳ හැටි තදින් ඩැහැ ගන්ට ඕනෑ. ආයෙ මොන දේකටවත් කට අරින්ට විතරක් එපා. කට ඇරියොත් නම් ඉතින් බත් මුට්ටිය පොළොවෙ ගැහුවා වගේ හිටියි” කියලා.

"හා, හා, මම එහෙමත් කරනව ද?” කියලා ඉබ්බා ලීකෝටුව කටින් ඩැහැ ගත්තා. මානකොක්කු දෙන්නා ඒ කෝටුවේ කෙළවරවල් දෙක හොටින් ඩැහැලා උස්සා ගත්තා. උස්සා ගෙන බොහොම සීරුවෙන් ඉගිලී යන්ට උණා. හැබැයි කොයි එකටත් පාතින් යනවා වඩා හොඳයි කියලා මානකොක්කු දෙන්නා වඩා ඉහළින් පියාසර කළේ නැහැ.

මේ තුන්දෙනා ඔහොම යන කොට ඔන්න එක දෙණිපතක හිටපු නරියෙක් දුටුවා මේ ඇත්තන් යන මේ අපූරු ගමන. දැකලා නරියා හූ කියලා හිනා උණා. හිනා වෙලා උඩ බලා ගෙන හයියෙන් අඬ පාලා ඇහුවා "ඈ අප්පේ, කාට දැකුමක් ද ඔය තඩේ ගෙනියන්නෙ?” කියලා.

මේ නරියාගෙ කතාවට ඉබ්බාට හොඳට ම තරහ ආවා. තරහ ඇවිත් "මේ තඩ ගෙනියන්නෙ තොපේ නැන්දලෑ දිහාට” කියලා කියන්ට හිතා ගෙන කට ඇරියා විතරයි, නැට්ටෙන් ගැලවුණු තල් ගෙඩියක් වගේ ඉබ්බා ජොග් ගාලා දෙණියට වැටුණා. ඒ ගමන නරියා ඒක දැකලා ඔන්න ලේ අද අහසින් වැටුණ මසක්” කියාගෙන ඉබ්බා ළඟට දිව්වා. ඉබ්බත් නරියා එනවා දැකලා පා හතරයි, ඔළුවයි උගෙ ඉබි කබොල්ල ඇතුළට ඇද ගත්තා. නරියා දුවලා ගිහින් ඉව කරලා බැලූවා. එහෙන් දත ගැහුවා; මෙහෙන් දත ගැහුවා; මොන හැටියකටවත් හපන්ට නම් බෑ. ඒ ගමන නරියා, ඉබ්බා ඒ මේ අත පෙරළන්ට උණා.

ඔන්න මෙවෙලෙ ඉබ්බා කබොල්ල ඇතුළේ ඉඳ ගෙන හිනා වෙන්ට උණා. හිනා වෙලා නරියගෙන් ඇහුවා, "මොකද යාළුවා, හපන්ට බැරි ද? කොහොම ද යාළුවා මා හපන්නෙ, මම මේ හත් අවුරුදු නියඟකට අහු වෙලා වේළිලා, වේළිලා කොට්ට වෙලා. දියක දාලා පොඟවලා ගත්තොත් මිස නැතුව නම් අවුරුද්දක් හැපුවත් හපන්ට නම් බෑ” කියලා.

ඉතින් ඉබ්බා ආයෙමත් කීවා "ඇයි මෝඩයො, ඔය තරම් දේකුත් නො දැන ද උඹ ඉබිමස් කන්ට තනන්නේ? දිය ගේන්ට බැරි නම් මාව උස්සා ගෙන ගිහින් දමාපන්කො දිය තියන තැනක” කියලා.

"ඒකත් හරි තමා” කියලා ඒ ගමන නරියා, ඉබ්බා කටින් ඩැහැ ගෙන ගියා ඒ අහල තිබුණ මහ විලකට. ගිහින් ඉබ්බා දියේ දමල පයින් පාගා ගෙන හිටියා. නරියා පාගා ගෙන ඉන්න හින්දා ඉබ්බාටත් යන්ට ඉඩක් නෑ. ඉබ්බත් ඔහොම හිටියා. හුඟක් වෙලා ගියායින් පස්සෙ නරියා ඉබ්බට කතා කරල ඇහුවා "ආ මෝඩ ඉබ්බෝ, දැන් පෙඟුණා ඇද්ද” කියලා.

ඉතින් ඉබ්බා කීවා "දැන් නම් හුඟක් හරිය පෙඟුණා. නරි අයියගෙ පය තියන තැන විතරයි තව පෙඟෙන්ට ඇත්තෙ. පය ටිකක් බුරුල් කළොත් ඒ ටිකත් පෙඟෙයි” කියලා. නරියත් අමුත්තක් නො කියා පය බුරුල් කළා. පය බුරුල් කරනවාත් එක්ක ම ඉබ්බා දියට ඇදිලා ගියා. ඒත් නරියා එක පාරට ම පැනලා අල්ලා ගත්තා දුවන ඉබ්බගෙ එක කකුලකින්. ඉතින් නරියා කකුලෙන් අල්ලා ගත්තාම ඉබ්බා දඟලන්නෙ නැතුව එහෙම ම හිටලා කීවා "නරි අයියා රැවටිච්චී කෙටල අලේ එල්ලිච්චී” කියලා.

නරියත් හිතුවා එහෙනං කෙටල අලේ තමා මට අහු උණේ කියලා ඉබ්බගෙ කකුල අත ඇරල ඒ ළඟ ම තිබුණ කෙටල අලයක් අල්ලා ගත්තා. ඒ ගමන ඉබ්බා නරියාට බහින්ට බැරි තරමට ජඹුරට ගිහින් නරියාට කතා කරලා "බොල නරියෝ, තොපි එදත් නරි, අදත් නරි, තොපි කවදද ඉබිමස් කෑවෙ” කියා ගෙන යන්ට ගියා.