12 - කාලය රැක ගනිමු

අල්ලාහ් මිනිසාට ලබා දී ඇති දායාද අතරින් කාලය ප්‍රමුඛස්ථානයක් ගනී. මිනිසාගේ ආයු කාලය තුළ ගතකරන එක විනාඩියක්, කිසි දු වස්තුවකට හෝ සම්පතකට සමාන නොවේ. ඔහුගේ මෙලොව පරලොව ජීවිතයේ ජය පරාජය තීරණය කිරීමෙහි ලා කාලය භාවිත කළ ආකාරය ඉතා වැදගත් වේ.

කාලයේ වැදගත්කම ඇඟවීමට අල්ලාහ් කාලය මත දිවුරා ඇත. "කාලය මත දිවුරා පවසමි." (103 : 01) "අරුණෝදය මත දිවුරා පවසමි." (89 : 01) "උදා වන අලූයම මත ද දිවුරා පවසමි." (81 : 18) "පෙරවරුව මත දිවුරා පවසමි." (93 : 01) කාලයේ වැදගත්කම අඟවන මෙවැනි වැකි රැසක් අල්කුර්ආනය තුළ දක්නට ලැබේ.

කාලය යනු අල්ලාහ් විසින් ප්‍රදානය කරන ලද අමානතය (විශ්වාසයෙන් රැකගත යුතු) විශේෂිත දායාදයකි. එය යටත් කර ගැනීමට හෝ අහිමි වී ගිය පසු නැවත ලබා ගැනීමට හෝ නොහැකි ය. මෙය මුහම්මද් සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමාගේ පහත හදීසය මඟින් පැහැදිලි කෙරේ.

" පරමාන්ත දිනයේ දී කරුණු හතරකට පිළිතුරු නොදෙන තුරු කිසිදු මිනිසෙකුට ඉවත්ව යා නොහැකි ය. තම තරුණ කාලය ගත කළේ කෙසේ ද, දැනුම උපයෝගී කළේ කෙසේ ද, වස්තුව කෙසේ උපයා කෙසේ වියදම් කළේ ද, ජීවිත කාලය ගත කළේ කෙසේ ද, යනුවෙන් ඒ ප්‍රශ්න හතර පැවසූහ. (තිර්මිදි)

කාලය නාස්ති කිරීම මරණයටත් වඩා වැඩි විපතකි. මක්නිසාදයත්, මරණය මිනිසා ජීවිතයේ එක ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරවයි. නමුත්, කාලය නාස්ති කිරීම මගින් ජීවිතයේ අරමුණ බිඳ වැටී ජීවිතය පරාජය කරා ගමන් කරයි.

ඉස්ලාමීය මූලික ඉබාදත් කාලය සමඟ සම්බන්ධ කර දක්වා ඇති හෙයින් මෙහි වැදගත්කම තවදුරටත් විදහා දක්වයි. මුහම්මද් සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමා වෙත පැමිණි අයෙකු "අල්ලාහ්ගේ ධර්ම දූතයාණනි! යහ ක්‍රියාවන් අතුරින් අල්ලාහ් වඩාත් ම ප්‍රිය කරන්නේ කුමක් ද?" යැයි විමසූ විට "ආරම්භක වේලාවේ දී සලාතය ඉටු කිරීම වේ," යනුවෙන් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ. (මුස්ලිම්)

"අල්ලාහු තආලා විසින් මවන ලද දින අතරින් විශේෂිත කාලයන් කිහිපයක් ඇත. නුඹලා ඒවා උපයෝගී කර ගන්න. ඒවා උපයෝගී කර ගත් අයට ඉන් පසු ජීවිතය තුල අලාභයක් ඇති නොවේ," යැයි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ. (තබරානි)

ජීවිතය ජය ගැනීමට කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය ය. මෙය නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ මෙසේ අවධාරණය කළහ: "කරුණු පහක් සිදුවීමට පෙර කරුණු පහක් ප්‍රයෝජනයට ගන්න. මරණයට පෙර ජීවිතය, රෝගී තත්ත්වයට පෙර නීරෝගීභාවය කාර්‍යබහුලතාවයට පෙර විවේකය, වයෝවෘද්ධභාවයට පෙර තාරුණ්‍යය, දුගීභාවයට පෙර ධනය ප්‍රයෝජනයට ගන්න." (හාකිම්)

'අල්ලාහ්ගේ නිඃමත් දෙකක් පිළිබඳ ව බොහෝ දෙනෙක් ඉතා ම නොසැලකිලිමත් ව සිටිති. ඒවා නම් නීරෝගී බව හා විවේකය වේ.' යනුවෙන් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ. (බුහාරි)

කාලය ක්‍රමානුකූලව ප්‍රයෝජනයට ගෙන වාර්තා පිහිටවූවන් ඉතිහාසය තුළ අඛණ්ඩ ලෙස දැක ගත හැකි ය. කලීෆා අබූබක්ර් රලියල්ලාහු අන්හු තුමා තම වසර දෙකක සීමිත රාජ්‍ය පාලන කාලය තුළ වැදගත් අභියෝග රැසක් ජය ගත්තේ ය. අල්කුර්ආනය එක්රැස් කිරීම, ව්‍යාජ නබිවරුන්ගේ කුමන්ත්‍රණ මර්දනය කිරීම, ඉස්ලාමීය රාජ්‍යය ශක්තිමත් කිරීම යනාදිය ඒ අතරින් කිහිපයකි.

කලීෆා උමර් ඉබ්නු අබ්දුල් අසීස් රහ්මතුල්ලාහි අෙලෙහි තුමාගේ පාලන කාලය වසර දෙකක් පමණ විය. හදීස් එක්රැස් කිරීමේ සේවය ආරම්භ කිරීම, ඉස්ලාමීය අධිරාජ්‍යය සකාත් මගින් දුගී බවින් තොර වූ සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම යනාදිය, කෙටි කාලයක් තුළ දී එතුමා පිහිට වූ වාර්තා කිහිපයකි.

40 වන වියේ දී අභාවප්‍රාප්ත වූ ඉමාම් නවවි රහ්මතුල්ලාහි අෙලෙහි තුමා ග්‍රන්ථ 500කටත් අධික ප්‍රමාණයක් ලියා ඇත.

මෙවැනි වාර්තාවන්ට හේතුව වූයේ ඔවුන් කාලය ක්‍රමානුකූලව සැලසුම් කර ප්‍රයෝජනයට ගැනීම වේ.

කාලය ක්‍රමානුකූලව ප්‍රයෝජනයට ගෙන ජය ලැබීමට අප පහත සඳහන් කරුණු පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු ය.

  • කාලය අමානත් වස්තුවකි. පරමාන්ත දිනයේ දී ඒ පිළිබඳව අප විමසුමකට ලක් වන බව සිහියේ තබා ගැනීම
  • කාලය අඩු බවත් වගකීම් වැඩි බවත් වටහා ගෙන ක්‍රියා කිරීම
  • සලාතය ප්‍රමුඛ අමල්, නියමිත කාලය තුළ දී ඉටු කිරීම
  • තිලාවතුල් කුර්ආන්, දික්ර්, උදේ - සවස, අව්රාද් යනාදිය නොකඩවා ම පාරායනය කිරීම.
  • දෛනිකව ඉටු කළ යුතු ක්‍රියාවන් සැලසුම් කර ගැනීම
  • දිනපතා ඉටු කළ ක්‍රියාවන් සෑම දින ම අවසානයේ දී ස්වයං ඇගයීමකට ලක් කිරීම
  • ඉගෙනීමේ කටයුතු දිනපතා ම සැලසුම් කර ඉටු කිරීම
  • විවේක කාලය ප්‍රයෝජනවත් අයුරින් ගත කිරීම
  • නිෂ්ඵල ක්‍රියාවන්ගෙන් වැළකී ජීවත් වීම
  • මැලිකම් දුරු කර උනන්දුව ඇති කර ගැනීම

කාලය නියමාකාරයෙන් භාවිත කිරීමට අප තරුණ වයසේ සිට පුරුදු විය යුතු ය.
නියමිත වේලාවේ දී නියමිත කාර්යය ඉටු කිරීම මඟින් කාල කළමනාකරණය කරමින්
ජීවන චරිතය හැඩගස්වා ගැනීම මෙලොව හා පරලොව ජයග්‍රහණයට හේතු වේ.