මූසා අලෛහිස්සලාම් තුමා
මූසා අලෛහිස්සලාම් තුමා ක්‍රිස්තු පූර්ව 1250 වසරේ ඊජිප්තුවේ (මිසරයේ) බනූ ඉස්රාඊල්වරුන්ගේ පවුලක ඉපදුණේ ය. යූසුෆ් අලෛහිස්සලාම් තුමාගේ කාලයේ පලස්තීනයේ සිට පැමිණ ඊජිප්තුවේ පදිංචි වී ගෞරවයට පාත්‍ර වූ බනූ ඉස්රාඊල්වරුන්ට, පසු කාලයේ ෆිර්අවුන් නම් ඊජිප්තුවේ රජුගේ දරදඬු පාලනයට යටත්ව සිටීමට සිදු විය.
බනූ ඉස්රාඊල්වරුන්ගේ පවුලේ උපදින පිරිමි දරුවකු නිසා තමාට තර්ජනයක් විය හැකි බව කියැවෙන අනාවැකියකට අනුව, දෙවන රාම්සීස් නමැති ෆිර්අවුන් රජු බනූ ඉස්රාඊල් පවුලේ උපදින පිරිමි දරුවන් මරා දමන්නට විය. මෙලෙස වූ වාතාවරණයක මූසා අලෛහිස්සලාම් තුමා ඉපදුණේ ය.
ළදරු මූසා, අල්ලාහ්ගේ බලයෙන් ෆිර්අවුන්ගේ මාලිගාවේ රජබිසව වූ ආසියා වෙත යහපත් ව හැදී වැඩුණේ ය. තමා බිය වූ බනූ ඉස්රාඊල් පවුලට අයත් පිරිමි දරුවා මොහු යැයි රජතුමා එවිට දැන සිටියේ නැත. නමුත් තරුණ වයසට එළඹුණු මූසා අලෛහිස්සලාම් තුමාට ඊජිප්තුවේ සිට මද්යන් නගරයට පලා යාමට සිදු විය. එහි දී දේව විශ්වාස භක්තිකයකු වූ වයොවෘද්ධයකු (ෂුඅයිබ් අලෛහිස්සලාම් තුමා) සමග සිටීමට එතුමාට සිදු විය; පසුව ඔහුගේ දියණියන්ගේ රැකවරණය සඳහා දෙදෙනාගෙන් කෙනෙකු විවාහ කර ගත්තේ ය.
දිනක්, රාත්‍රියෙහි තමාගේ මව හා සහෝදරිය බලා එන්නට එතුමා බිරිඳත් සමඟ පිටත් විය. එතුමා තූර්සීනා කන්ද අභියසට ළඟා විය. එම අවස්ථාවේ දී දැඩි ලෙස රෝගාතුර වූ බිරිඳට සීතලෙන් බේරී සිටීමට ගින්දර සොයන අතරේ දී තූර්සීනා කදු පාමුල ගිනි දැල්වෙනු දුටුවේ ය.
එහි ගිය විට "මූසා තුමණි, මම වෙමි ලෝ වැසියන්ගේ දෙවියා වන අල්ලාහ්," නමින් රැව් දුන් හඬක් ඇසුණි. මෙය මූසා අලෛහිස්සලාම් තුමා නබිවරයකු ලෙස තෝරා ගත් අවස්ථාවයි.
අල්ලාහ්, මූසා අලෛහිස්සලාම් තුමාට ෆිර්අවුන් වෙත ගොස් තමා අල්ලාහ්ගේ දූතයා බව පවසා බනූ ඉස්රාඊල්වරුන් ඔහුගෙන් මුදා ගන්නා ලෙස අණ කළේ ය. තමා නබිවරයකු බව තහවුරු කිරීමට මුඃජිසාත් දෙකක් වන දෙඅත් ආලෝකවත් ව බැබළීම හා හැරමිටිය නයෙක් බවට පත්වීමේ ප්රාතිහාර්ය ලබා දුන් අල්ලාහුතආලා එතුමාගේ ඉල්ලීමට අනුව සහෝදර හාරූන් අලෛහිස්සලාම් තුමාවත් නබිවරයකු ලෙස තෝරා එතුමාට උදවු කළේ ය.
නබිවරු දෙදෙනා ම ෆිර්අවුන් වෙත ගොස් අල්ලාහ්ගේ අණ ප්‍රකාශ කළෝ ය. අහංකාර වූ ෆිර්අවුන් ඔවුන් හාස්‍යයට ලක් කළේ ය; හූනියම්කරුවන් මඟින් ඔවුන්ගේ නුබූව්වතය බිඳ හෙළීමට උත්සාහ කළේ ය. නමුත් අවසානයේ හූනියම්කරුවෝ පවා මූසා අලෛහිස්සලාම් තුමා නබිවරයකු ලෙස විශ්වාස කළෝ ය.
ෆිර්අවුන් මුරණ්ඩුකමෙන් හා අහංකාරකමින් සිටිනු දැක නබි මූසා අලෛහිස්සලාම් තුමා, අල්ලාහ්ගේ අණ පරිදි රහසිගතව බනූ ඉස්රාඊල්වරුන් ඔවුන්ගේ ආරම්භක ස්ථානය වන පලස්තීනයට ම රැගෙන ගියේ ය. බනූ ඉස්රාඊල්වරුන් ඊජිප්තුවෙන් පලා යන බව දැනගත් ෆිර්අවුන් ඔහුගේ සේනාවත් සමඟ ඔවුන් ලූහුබැන්දේ ය. අල්ලාහ් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වා විනාශ කළේ ය.
ඊජිප්තුවේ සිට පැමිණි මූසා අලෛහිස්සලාම් තුමා අල්ලාහ්ගේ අණ පරිදි පලස්තීනය බලා තම සමූහයා රැගෙන ගියේ ය. අල්ලාහ් මූසා අලෛහිස්සලාම් තුමාට බනූ ඉස්රාඊල්වරුන් යහ මඟ යෑමට තව්රාත් නම් ආගම පහළ කළේ ය. අධික වශයෙන් දේව ආශිර්වාදය ලැබු බනූ ඉස්රාඊල්වරුන්ගෙන් බහුතරයක් දෙනා කළගුණ නොදත් හා පිටුපාන්නන් වශයෙන් සිටියහ. අල්ලාහ්ට සමානයක් තැබුවෝය.
ඔවුහු මූසා අලෛහිස්සලාම් තුමා හිත් වේදනාවට පත් කළහ; පලස්තීනයට ළඟා වූ විට ඔවුන් තම බියගුලූ ගතිය පෙන්වා, එහි නොගොස් මූසා අලෛහිස්සලාම් තුමාගේ අණ ද පිටුපා ක්‍රියා කළෝ ය. එනිසා අල්ලාහු තආලා දිගු කාලයක් ඔවුන් ව සීනායි නම් කාන්තාරයේ දිවිගෙවීමට සලස්වා පරික්ෂාවට ලක් කළේ ය.
ටික කලකට පසු මෙම නබිවරුන් දෙදෙනාගෙන් හාරූන් අලෛහිස්සලාම් තුමා පළමුවෙන් වෆාත් විය. තම සමූහයාගේ කළගුණ නොදත්කම නිසා අල්ලාහ් ශුද්ධ භූමියක් කළ පලස්තීනයට යෑමට නොහැකිව මූසා අලෛහිස්සලාම් තුමා දැඩි ලෙස සිත් වේදනාවට පත් විය. අල්ලාහ් පොරොන්දු වූ භූමිය නැරඹීමේ චේතනාවෙන් එතුමා පලස්තීනය බලා ගමන් කළේ ය. එවිට එතුමාගේ වයස අවුරුදු 120කි. එහි ගිය එතුමා නැවතත් නොපැමිණියේ ය. එහි ම මරණයට පත් ව ඇතැයි සිතූ බනූ ඉස්රාඊල්වරු දින කිහිපයක් ශෝකය දැක්වූවෝ ය. එතුමා මරණයට පත් වූ ප්‍රදේශයත්, මිහිදන් වූ ස්ථානයත් බනූ ඉස්රාඊල්වරු නොදත්තෝ ය.
මූසා අලෛහිස්සලාම් තුමාගේ මරණය ගැන පවසන විට "එතුමා භූමදානය කළ ස්ථානය 'කුද්ස්' නම් ස්ථානයට ගලක් විසි කරන දුරෙහි තිබෙන රතු පස් පර්වතය ළඟ පිහිටි පාර අසල" යැයි නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පැවසූහ.
ඊසා අලෛහිස්සලාම් තුමා
බනූ ඉස්රාඊල්වරුන්ට මග පෙන්වීම සඳහා අල්ලාහ් විසින් පහළ කරන ලද නබිවරුන්ගෙන් සකරියියා අලෛහිස්සලාම් තුමා ද කෙනෙකි. මෙතුමාගේ කාලයේ බනූ ඉස්රාඊල්වරුන් අතර ඉම්රාන් නම් කෙනෙක් සිටියේ ය. ඔහුගේ බිරිඳ තමාට ලැබීමට සිටින දරුවා, මුළු ජීවිත කාලය ම බෛතුල් මුකද්දිසයේ සේවයට යොදවන බවට අල්ලාහ් වෙත බාර වූවා ය. ඔවුන් බලාපොරොත්තු වූයේ පිරිමි දරුවකු නමුත් ඉපදුණේ ගැහැනු දැරියකි. ඇයට මර්යම් යැයි නම් තබා ඇය අල්ලාහ් වෙත ම භාර කරන ලදී. අනාථ දැරියක ලෙස ඉපදුණු ළදරුවා අල්ලාහ්ගේ උපකාරයෙන් යහපත් ලෙස හැදී වැඩුණා ය. ඇය දැරියකව සිටිය දී ඇයගේ මව තමාගේ බාරය ඉටු කළා ය.
සකරියියා අලෛහිස්සලාම් තුමා එම දැරිය තම භාරයට ගත්තේ ය. දැරියට අවශ්‍ය ආහාරපාන අල්ලාහ් විසින් යවන ලදී. බෛතුල් මුකද්දිස්හි දේව නැමදුම් සමඟ හැදුණු වැඩුණු දැරිය තරුණ වයසට පත්වෙද්දී මලාඉකාවරුන්ට මුණ ගැසුණි.
අල්ලාහ්ගේ හාස්කමින් ඇය අල්මසීහ් නමැති විශේෂ නාමයෙන් යුත් ඊසා බින් මර්යම් යන නමින් පිරිමි දරුවකු වදන්නට යන බවත්, පසුව ඔහු බනූ ඉස්රාඊල්වරුන් වෙත අල්ලාහ්ගේ රසූල්වරයා ලෙස සිටිනු ඇති බවත් ශුභාරංචි පවසනු ලැබුවා ය.
ඊසා අලෛහිස්සලාම් තුමා අල්ලාහ්ගේ බලයෙන් පිරිමියකුගේ සබඳතාවෙන් තොරව ඉපදීම නිසා බනූ ඉස්රාඊල්වරු මර්යම් අලෛහිස්සලාම් තුමියට අපහාස කළහ. එවිට අත දරුවකු වූ ඊසා අලෛහිස්සලාම් තුමා වැඩුණු පුද්ගලයක් සේ, එම මිනිසුන් සමඟ කතා කර මව බේරා ගත්තේ ය. පලස්තීනය පාලනය කළ ඒරෝත්තු නම් රජ ඊසා අලෛහිස්සලාම් දරුවා මරා දැමීමට සෙව්වේ ය. එවිට මර්යම් අලෛහිස්සලාම් තුමිය ඇයගේ පවුලේ ආරක්ෂාව සඳහා ඊජිප්තුව බලා ගමන් කළා ය. රජතුමාගේ මරණ පුවත ඇසුවායින් පසුව නැවතත් ඔවුහු පලස්තීනයට පැමිණියහ.
ඊසා අලෛහිස්සලාම් තුමා කුඩා දරුවකු ලෙස සිටිය දී ම බනූ ඉස්රාඊල් ආගමික විද්වතුන් සමඟ වාද කළේ ය; ඔවුන්ගේ වැරදි පෙන්වා දුන්නේ ය; ඔවුන්ගේ අපරාධ ක්‍රියාවන්ට එරෙහි වීම නිසා ඔවුන්ගේ කෝපයට ද ලක් විය.
ඊසා අලෛහිස්සලාම් තුමා, තමාගේ 30 වන වියට පා තැබූ විට අල්ලාහ් තම නබි හා රසූල් වශයෙන් එතුමා තෝරා ගත්තේ ය. ඉන්ජීල් නම් ආගම ද පහළ කළේ ය. ඒ සමඟ ම මළවුන් පණගැන්වීම, උපතින්ම අන්ධයින්ට පෙනීම ලබා දීම, කුෂ්ඨ රෝගීන් සුව කිරීම, නිවසෙහි සඟවා තබා ඇති දේවල් ගැන නිවැරදිව කීම යනාදී ප්රතිහාර්ය පෑමේ බලය ද (මුඃජිසාත්) අල්ලාහ් එතුමාට ලබා දුන්නේ ය.
ඊසා අලෛහිස්සලාම් තුමා, අල්ලාහ්ගෙන් තමන් ලද ආගම ජනතාවට දේශනා කළේ ය. තව්රාත් ආගමේ ඇති දැඩි නීති ලිහිල් කිරීම සඳහා අල්ලාහ් ඉන්ජීලය ලබාදුන් බවත්, අදින් පසු මේ ආගම පිළිපැදිය යුතු බවටත් ජනතාවට ආරාධනා කළේ ය. තමා පිළිබඳව මූසා අලෛහිස්සලාම් තුමා පෙර දැනුම් දීමක් කර ඇති බවත් එතුමා පැවසී ය. මෙය දරා ගත නොහැකි වූ බනූ ඉස්රාඊල්වරුන්ගේ ආගමික විද්වත්හු එතුමාට විරුද්ධව නැඟී සිටීමට මහ ජනයා පෙළඹවූහ. මහජනයාගෙන් ලද සියලූ ම විරෝධතාවලට ඊසා අෙලෙහිස්සලාම් තුමා ඉවසීමෙන් මුහුණ දුන්නේ ය. එසේ ම ඔවුන්ට සමාව දී ආදරය ද දැක්වී ය.
ඊසා අලෛහිස්සලාම් තුමා පෙන්වූ මුඃජිසාතයන් දැක එතුමාගේ කැඳවීම පිළිගත් පළමු අනුගාමිකයන් "හවාරියියූන්වරුන්" යැයි හඳුන්වනු ලැබේ. මොවුහු ඊසා අලෛහිස්සලාම් තුමා ගැන තොරතුරු ජනයා අතර ප්‍රචාරය කළහ. මෙයින් මහජනයාගෙන් වැඩි දෙනෙක් ඊසා අලෛහිස්සලාම් තුමා විශ්වාස කළහ.
ඉන්ජීල් ආගම දිනෙන් දින ව්‍යාප්ත වී යාම දුටු සමහර බනූ ඉස්රාඊල්වරු ඊසා අලෛහිස්සලාම් තුමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළහ. ඉන්පසු ඔවුහු පලස්තීනය පාලනය කළ රෝමයේ ජුදාස් රජු වෙත ගොස් ඊසා අලෛහිස්සලාම් තුමා බනූ ඉස්රාඊල්වරුන්ගේ රජු වශයෙන් තමා පත්කර ගැනීමට උත්සාහ කරන බව පැවසූහ. මෙයින් දැඩි ලෙස කෝපයට පත් රජතුමා ඊසා අලෛහිස්සලාම් තුමා රට පීරමින් සොයන්නට විය.
ඊසා අලෛහිස්සලාම් තුමා දිනක් තම අනුගාමිකයන් සමඟ අසුන්ගෙන සිටින විට රෝමානු යුද භටයන් එතුමා අත් අඩංගුවට ගැනීමට ඉදිරියට එනු දුටුවේ ය. එවිට එතුමා අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතී ය. අල්ලාහ් ඊසා අලෛහිස්සලාම් තුමාගේ රුව ඔහු පාවා දීමට උපකාර කළ තැනැත්තාට ලබා දී, ඊසා අලෛහිස්සලාම් තුමා තමා වෙත ගෙන්වා ගත්තේ ය. රෝමානු යුදභටයන් ඊසා අලෛහිස්සලාම් තුමා යැයි සිතා එම මිනිසාව අත් අඩංගුවට ගෙන අවසානයේ දී කුරුසයේ තබා ඇණ ගසා මැරුවෝ ය.
කුරුසයේ ඇණ ගසා මරා දැමුවේ ඊසා අලෛහිස්සලාම් තුමා යැයි දැනටත් බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඊසා අලෛහිස්සලාම් තුමා පිළිබඳ සත්‍ය තොරතුරු මින්පසු පැමිණෙන දේවදූතයා ජනයාට පැහැදිලි කරනු ඇත යනුවෙන් ඊසා අලෛහිස්සලාම් තුමා කලින් ම පවසා ඇත්තේ ය. මෙම පෙර දැනුම් දීම දැනටත් ඉන්ජීල් ආගමේ සුරක්ෂිතව ඇත්තේ ය.
ඊසා අලෛහිස්සලාම් තුමාට පසුව නබිවරයා ලෙස පැමි‚ මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ ඊසා අලෛහිස්සලාම් තුමා ගැන පවසද්දී .එතුමා කුරුසයේ ඇණ ගැසුවේ ද නැත; මැරුවේ ද නැත. එතුමා අල්ලාහ් ඔහු වෙත ඔසවාගනු ලැබුවේ ය. ලෝක අවසානයේ පෙර නිමිත්තක් ලෙස අල්ලාහ් නැවතත් ලෝකයට යවා තබන්නේ ය; ඔහු ජනයා ඉස්ලාමය වෙත කැඳවයි; අපරාධවලට එරෙහි ව සටන් කරයි; නීත්‍යානුකූලව පාලනය සිදු කරයි; එතුමා මරණයට පත්වන්නේ ඉන් පසුව ය,, යැයි පැහැදිලි කර ඇත්තාහ.