අල්ලාහ් විසින් දායාද කරන ලද ධර්මය වූ අල්කුර්ආනයේ 93 වන පරිච්ඡේදය සූරතුල් ලූහා වේ. මෙම සූරාවේ ආයත් 11ක් අන්තර්ගත වේ. මෙහි වචන 40ක් ද අක්ෂර 164ක් ද දක්නට ලැබේ. ෆජ්ර් සූරාවට පසුව මක්කාවේ පහළ කරන ලද මෙම සූරාවේ ප්රථම ආයතය ද, ප්රථම වචනය ද වන "අල් ලූහා" යන පදය මෙහි නාමය ලෙස නම් කර ඇත. "හිමිදිරි පාන්දර" යන්න මෙහි අදහස වේ.
පහළ කරන ලද පසුබිම
නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට අල්ලාහ්ගෙන් පහළ වෙමින් පැවති වහී පහළ වීමට දින කිහිපයක් ප්රමාද විය. ජිබ්රීල් අලෛහිස්සලාම් තුමා සමඟින් වූ සබැඳියාව ද බිඳී ගියේ ය. මෙය සැළ වූ වහා ම මුෂ්රික්වරු සරදම් කළහ. "මුහම්මද්ගේ දෙවියන් විසින් මුහම්මද් අත්හරින ලදී, ඔහු ළඟට පැමිණෙමින් සිටි ෂෛතාන්ගේ පැමිණීම ද අවසන් විය," යනුවෙන් විහිළු කළ අය අතර අබූ ලහබ්ගේ බිරිඳ වූ අල් අව්රා බින්ත් හර්බ් නමැත්තිය විශේෂිත තැනැත්තියකි. සතුරන්ගේ විමර්ශන, උසුළු විසුළු හමුවේ මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා සිත්තැවුලින් පසු වන අවස්ථාවේ දී මෙම සූරාව පහළ විය.
සූරාව හා එහි අර්ථය
මහා කරුණික වූද පරම දයාබර වූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි)
මූලික අදහස
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට අල්ලාහ්ගෙන් පැමිණි වහී එකවර ම නතර විය. එහෙයින් එතුමාගේ විශ්වාසයේ උල්පත සිඳී ගියේ ය. දේව ස්නේහ සුවඳ බිඳී ගියේ ය. දරා ගත නොහැකි ශෝකයට පාත්ර වී පාළු හැඟීමෙන් හුදකලා වූවකු සේ දුකට පත් වී සිටියේ ය. මෙවැනි පසුබිමක මෙම සූරාව පහළ විය. මෙමගින් නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමාණන් කෙරෙහි ආදරය, රැකවරණය, සෙනෙහස, අනුකම්පාව, කරුණාව, ගරුත්වය, ස්නේහය, ඇල්ම, විශ්වාසය යන සියල්ල ම පිරී ඉතිරෙන්නට විය. මෙමගින් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ අසීමිත සතුටට පත් වූහ.
නුඹව අතහැර දැමුවේ නැත, ප්රතික්ෂේප කළේ නැත, අමතක කළේ නැත, නුඹ සමඟින් කෝප වූවේ නැත, නුඹ කිසිවිටක අත නොහරින්නෙමු, නුඹට කිසි දු අඩුවක් නොතබන්නෙමු, මෙලොව පිරිනැමූ යහපතට වඩා ඉතා විශේෂිත දේ නුඹ වෙනුවෙන් පරමාන්ත දින මග බලමින් ඇත, යනාදී වචනවලින් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට සැනසිලි බස් කියනු ලැබිණි.
නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම් තුමා වෙත අල්ලාහ්ගේ ආදරය හා සෙනෙහස උතුරා ඇත. අනාථයකු ලෙස උපන් එතුමා අල්ලාහ් විසින් රැක ගනු ලැබිණි. සෙනෙහස පානු ලැබිණි; දිළිඳු බවින් මුදවා එතුමා සමෘද්ධිමත් කරනු ලැබිණි, යැයි සඳහන් කර පෙන්වා දී ඇත.
අවසාන වශයෙන් අනාථයින්ට තර්ජනය කිරීම, ඔවුන් වෙත බලපෑම් කිරීම, ඔවුන්ට අවමන් කිරීම, නින්දා කිරීම හෝ දඬුවම් කිරීම නොකළ යුතු බවත්, එසේ ම යාචකයන් සමඟ යහපත්ව හා ගෞරවනීයව හැසිරෙන ලෙසත් ආයාචනා කරන්නේ ය.
සූරාවේ අන්තර්ගත දේශනා