20 - පිවිතුරු ජීවිතාදර්ශ

ශුද්ධ වූ මරිය ගොරෙත්ති මුනිතුමිය

මෙතුමිය උපත ලැබුවේ 1890 ඔක්තෝම්බර් මස 16වන දින ය. දෙමාපියන් සමග ඇය ජීවත් වූයේ ඉතාලියේ කොරුනැල්ඩෝ නම් කුඩා නගරයේ ය. ඇයගේ පියා ලූවිජි ගොරෙත්ති වූ අතර, මව අසුන්තා කර්ලිනි වූවා ය. දරුවන් සත් දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ තුන්වැන්නා මරිය ගොරෙත්ති ය.

දිළිදු වුවත් මේ පවුල වාසනාවෙන් සහ සතුටින් නිතර ම දෙවියන් වහන්සේටත් දේව මෑණියන්ටත් සමීප ව ජීවත් විය. මරිය ගොරෙත්තිට වයස අවුරුදු හයවන විට මුළු පවුල ම පලියානෝ නමැති පෙදෙසට පදිංචියට ගියෝ ය.

පියාගේ මරණින් පසු ව මව සමග ගෙදර වගකීම් භාරගත් මරිය ගොරෙත්ති තුමිය තම සහෝදර සහෝදරියන් සමග දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කළා ය. දිනක් ඇය නිවසේ තනි ව සිටිය දී එහි පැමිණි ඇලෙස්සැන්ඩ්‍රෝ ඇය හයවන පනතට විරුද්ධ ව පව් කිරීමට පොලොඹවා ගැනීමට උත්සාහ කළ නමුත් ඇය ඊට විරුද්ධ වූ නිසා, ඔහු ඇයට පිහියෙන් ඇන්නේ ය. මරණයට පෙර සිය මෑණියන් ඇමතූ ඇය මෙසේ පැවසුවා ය: "අම්මේ, මම පළමු වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දා ජේසුට පොරොන්දුවක් දුන්නා; ඒ තමයි 'මරණයට පත් වුවත් මම මාගේ දේව ජීවිතය නැති කර ගන්නේ නෑ කියා, ජේසුට දුන් පොරොන්දුව මම ඉටු කළා.' ජේසුස් වහන්සේ කුරුස ගසේ සිටිය දී උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ අයට පවා සමාව දුන්නා සේ මරිය ගොරෙත්ති තුමිය ද මිය යාමට පෙර තමාට පිහියෙන් ඇන්න ඇලෙස්සැන්ඩ්‍රෝට සමාව දුන්නා ය.

මිය යන විට ඇයගේ වයස අවුරුදු දොළහකි. ඈ අද ශුද්ධවන්තියකි. ජූලි මස හයවන දින ශුද්ධ වූ මරිය ගොරෙත්ති මුනිතුමියගේ මංගල්‍යය පැවැත්වේ.

අපිත් මරිය ගොරෙත්ති තුමිය මෙන් චරිතවත් ජීවිතයක් ගත කළ යුතු වෙමු. දෙවි පියාණන් වහන්සේගෙන් ලද දේව ජීවිතය නැති කර නොගෙන උන්වහන්සේට ප්‍රසන්න ව ජීවත් වීමටත්, විශ්වාස පක්ෂ ව සිටින්නටත් පිහිට ඉල්ලා යාච්ඤා කරමු. එසේ සිටිමට අපට පිහිට වන්න කියා ද ශුද්ධ වූ මරිය ගොරෙත්ති මුනිතුමියගේ මධ්‍යස්ථකම ඉල්ලමු.

 

ශුද්ධ වූ ඇග්නස් මුනිතුමිය

මෙතුමිය කුඩා කාලයේ සිට ම දෙවියන් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයකින් ද මර්ය්‍යදාවයෙන් ද යුත් පිරිසිදු ජීවිතයක් ගත කළා ය. අවුරුදු දොළහේ උපන් දිනය සැමරූ එතුමිය තම මාපියන් කැටුව දිව්‍ය පූජාවට ගොස් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තා ය. දිව්‍ය පූජාවෙන් පසු රදගුරුතුමන් පාමුල දණින් වැටී තම මුළු ජීවිත කාලය තුළ දී ම කන්‍යාභාවය රැකගෙන තම ජීවිතය ම ජේසුස් වහන්සේට කැප කළ බව දැන්වූවා ය. එදින ම හවස රෝමානු ආණ්ඩුකාරයාගේ පුත්‍රයා එතුමිය විවාහ කර ගැනීමේ අදහසින් එතුමියට වටිනා තෑග්ගක් එව්වේ ය. එතුමිය එම ත්‍යාගය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කීවා ය: "මම ස්වර්ගීය රාජාණන්ගේ පුතණුවන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමග විවාහ වූවෙමි." මෙය සැලවූ වහා ම රෝමානු ආණ්ඩුකාරයාගේ පුත්‍රයා කිපී එතුමිය සිර භාරයට ගැනීමට නියම කළේ ය. රෝමානු භටයෝ පැමිණ එතුමිය ඇද ගෙන ගොස් සිරගෙයි දැමූහ. එහි දී එතුමියට බොරු දෙවිවරුන්ගේ දේවතා රූපවලට මල් සහ දුම් පිදීමට බල කළෝ ය. ඇග්නස් තුමිය දැඩි අධිෂ්ඨානයෙන් ජේසුස් වහන්සේ වෙත සිත සහ දැත් ඔසවමින් යාච්ඤාවේ යෙදුණා මිස, ඒ අදමිටුවන්ට කීකරු වූයේ නැත. ආණ්ඩුකාරයාගේ පුතා පැමිණ මේ සියලූ වද හිංසාවලින් එතුමිය ගලවන බවට පොරොන්දු වී තමා සමග විවාහ වන ලෙස එතුමියගෙන් නැවත ද ඉල්ලා සිටියේ ය. ඇග්නස් තුමිය පිළිතුරු දෙමින්, "මාගේ ගැලවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට පමණක් මා අයිති ය"යි කීවා ය. එතුමියගේ වදන් ඇසූ තරුණයා කිපී එතුමිය මරන්නට අණ කළේ ය.

මෙම දිරිමත් යෞවන සාන්තුවරිය ඉදිරියේ සිටි සොල්දාදුවා එක් කඩු පහරින් එතුමිය මරා දැමුවේ ය. එතුමිය අන්තිමය දක්වා ම ජේසුස් වහන්සේට විශ්වාසවන්ත ව සිටියා ය.

එතුමියගේ මෘත ශරීරය රෝමයෙන් පිටත එතුමියගේ පවුලේ සොහොනෙහි තැන්පත් කළේ ය. එය දැන් එතුමියගේ නම දරන සොහොන් ගෙයකි.

ජනවාරි 21වන දින ශුද්ධ වූ සභා මාතාව එතුමියගේ මංගල්‍යය පවත්වන්නී ය.

 

ශුද්ධ වූ දොමිනික් සාවියෝ මුනිතුමා

මෙතුමා උපත ලැබුවේ 1842 අප්‍රේල් මස 2වන දින උතුරු ඉතාලියේ, රිවා මුරි අල්ඩෝ ග්‍රාමයේ ය. එතුමාගේ පියා චාල්ස් සාවියෝ වන අතර, එතුමාගේ මව බ්‍රිජට් ය. දොමිනික් ළදරු විය තම ගෘහයේ ගත කළේ ය. දෙවියන් වහන්සේගේ මහත් ආලෝකයක් සහ වරප්‍රසාදයක් ලැබීමට භාග්‍ය ලැබුවේ ය.

අවුරුදු 7 සිට මීසම භාර පියතුමාගෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන්ට දෙන ලෙස නිතර නිතර ඉල්ලා සිටි නමුත්, පියතුමා දැන්වූයේ ඔහුට වයස අවුරුදු 12 වනතුරු සිටින ලෙස ය. ඔහුගේ භක්තියත් ආශාවත් දුටු පියතුමා දිනක් ඔහුට මෙසේ කීවේ ය: "මම පාස්කුවට ඔබට ලස්සන තෑග්ගක් දෙන්නට යනවා. එදින මම ඔබට ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ මගින් ජේසු දෙනවා" එය දොමිනික් තුමාට ඉතා සතුටුදායක ආරංචියක් විය. දෙමාපියන්ට මෙම ආරංචිය දැන්වී ය. ඉන් පසු සැමදා ම ඉතා භක්තියෙන් ඔහු දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගත්තේ ය.

දොන් බොස්කෝ තුමාගේ ආයතනයට ඇතුළු වූ දොමිනික් තුමා එහි සිටි ළමුන්ට සැබෑ ක්‍රිස්තියානි ජීවිතයක් ගත කිරීමට තම වචනයෙන් සහ ක්‍රියාවෙන් ආදර්ශවත් විය. ඔහු බරපතළ ලෙස රෝගාතුර විය. ඔහු ප්‍රතිකාර ලබා ගැනීම පිණිස දෙමාපියන් වෙත යවන ලදි. තම ගෘහයේ දී නොකඩවා ශුද්ධවන්ත ව යාච්ඤාවේ ජීවිතයක් ගත කළේ ය.

වර්ෂ 1857 මාර්තු මස 9වන දින එතුමා මරණාසන්න ව සිටි අවස්ථාවේ දී අලංකාර දර්ශනයක් දැක, ශබ්ද නගා මෙසේ කීවේ ය: "අහෝ කොතරම් අලංකාර දර්ශනයක් දැන් මට පෙනේ ද?"

දොමිනික් සාවියෝ තුමාගේ කොළ පාට බෙන්තිඤ්ඤය නිසා ගර්භණී මව්වරුන්ට පහසු දරු ප්‍රසූතියට උදව් වූ බව අවස්ථා කීපයකින් ඔප්පු විය. ශුද්ධ වූ දොමිනික් සාවියෝ තුමාගේ මංගල්‍යය මාර්තු මස 10වන දා පැවැත්වේ.