13 - දෙවිඳුන් තුළ නිවැරදි දිවියක්

හිතෝපදේශ 20 : 1, 21 : 5-7 ධර්මදේශකයා 11 : 09-12
ගලාති 5 : 19-21, 1 කොරින්ති 10 : 31-32

කිතු සමිඳුන්ගේ දරුවන් වන අප, බාහිර සමාජයේ දී යහපත - අයහපත මැනවින් හඳුනාගෙන, යහපතට ඇලූම් ව ජීවත් වීම සමිඳාණන් වහන්සේගේ කැමැත්ත වේ. සමාජයේ බොහෝ විෂම පැවතුම් ඇතත් නිවැරැදි දෙය තෝරා ගැනීමට දේව මග පෙන්වීම සෙවීම කිතුනු දරුවකු වන ඔබගේ යුතු-කමක් මෙන් ම වගකීමක් ද වේ.

ලෝකය ඉදිරියෙහි නිවැරැදි හෝ යහපත් හෝ යැයි සිතන දේ දෙවියන් වහන්සේ ඉදිරියේ දී ද නිවැරැදි ද, යහපත් ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වනුයේ දේව වචනය මැනවින් හැදෑරීමෙන් පමණි.

දේව වචනය මාංසික තෘෂ්ණා පිළිබඳ ව සඳහන් කරයි. මාංසික තෘෂ්ණා හඳුනා ගැනීම තරුණ වියට පා තැබීමට සූදානමින් සිටින ඔබට ඉතා වැදගත් වන්නේ ය.

ඉහත ඉදිරිපත් කළ මාංසික තෘෂ්ණා අතරින් බීමත්කම අද සමාජය වෙලාගත් මහත් ව්‍යසනයක් බවට පත් ව ඇති බව නොරහසකි. බීමත්කම වටිනා ජීවිත විනාශ කරන අතර එය තම පවුලේ අසහනයට මෙන් ම සමස්ත සමාජයේ පිරිහීමට ද හේතු වේ.

බීමත්කම පිළිබඳ ව දේව වචනයේ මෙලෙස සඳහන් වේ.

"මද්‍ය පානය කේලාම්කරුවෙකි
සුරා පානය කලහකරුවෙකි
බීමත්කමට මුලාවන්නා මෝඩයෙකි."
(හිතෝපදේශ 20:1)

මත්පැන් පානය කරන්නකුගේ ස්වභාවය පිළිබඳ ව දේව වචනයේ සඳහන් මෙම කාරණා සත්‍ය බව බීමත් පුද්ගලයින් නිරීක්ෂණය කර බලන කල ඔබට ද වැටහෙනු ඇත. බීමත්කමෙන් ඔවුහු;

  • තමන් කරන දේ නොදැන බොහෝ විට කලහකාරී ලෙස හැසිරෙති.
  • මුදල් නාස්ති කරති.
  • තම ප්‍රශ්න හා ගැටලූවලට සහනයක් ලැබීමට උත්සාහ කළ ද සිදුවන්නේ අසහනය තව තවත් වැඩිවීම නිසා ප්‍රශ්න තව තවත් සංකීර්ණ කර ගනිති.
  • සිතුවිලි පාලනය ව්‍යාකූල වී නොකළ යුතු දේ කිරීමටත් නොකිය යුතු දේ කීමටත් පෙලඹී අනපේක්ෂිත ගැටලූවලට මුහුණ පාති.
  • තම පවුලේත්, අසල්වැසියන්ගේත් සමස්ත සමාජයේත් සතුට සැනසීම නැති කරති.
  • අන් අය ඉදිරියේ අසරණ භාවයට හා අපහාසයට ලක්වෙති.
  • තම පවුලේ අය ද ලැජ්ජාවට පත් කරති.
  • අක්මාවේ ඇතිවන සිරෝසීස් රෝගය, හෘදයාබාධ, අංශභාගය, ස්නායු රෝග, විටමින් ඌනතාව වැනි රෝගවලට ගොදුරු වෙති.
  • බීමත්කමේ අනිසි ප්‍රතිඵල ලෙස මද්‍යසාර නොගත් අයට ද පීඩා ගෙන දෙති.
  • දේව ස්වභාවය විනාශ වී යාමට මග පාදා ගනිති.

බීමත්කම නිසා මෙලෙස තම ජීවිතය මෙන් ම අන් අයගේ ජීවිත ද විනාශයට හා අසහනයට පත්වන බව ඔබට දැන් වැටහෙනවා ඇත.

සමහර අවස්ථාවන්හි දී අප ජීවත්වන පවුල් පරිසරයේ ද මෙවන් තත්ත්වයන්ට මුහුණ දෙන අය සිටිය හැකි ය. ඔවුන් ඉන් මුදවා ගැනීම පි‚ස පවුලේ යාච්ඤාව අවස්ථාවේ දී හෝ සුදුසු මොහොතක දී හෝ බීමත්කම නිසා අත්වන පල විපාක පිළිබඳ දේව වචනයේ සඳහන් දේ ඔබට ප්‍රකාශ කළ හැකි වේ.

බීමත්කම නිසා ඇති වන අහිතකර තත්ත්ව පිළිබඳ ව පන්තියේ
එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනිමින්, සමාජය ඉන්
මුදවා ගැනීමට ගත හැකි පියවර පිළිබඳ ව විමසා බලන්න.

ඇතැම් පුද්ගලයෝ උපයන ආදායම තම පවුලේ අවශ්‍යතා සඳහා නොව බීමත්කමට, සුරා සුදුවට හා තවත් එවන් වැරැදිවලට නාස්ති කරති. කෙමෙන් ඒවාට ඇබ්බැහි වී අත්හළ නොහැකි තත්ත්වයට පත් වූ විට මුදල් ඉපැයීමට විවිධ අනියම් ක්‍රියා මාර්ග අනුගමනය කරති. ඒ අතර විශේෂයෙන් හොරකමට, වංචාවට, සූදුවට යොමු වීම සිදු වෙයි.

සූදුවට යොමු වීමෙන් ක්ෂ‚ක ලාබ අපේක්ෂා කරන ඔහුගේ පිරිහීම ද එපමණට ම ඉක්මන් වන බව දේව වචනය අපට පසක් කර දෙයි. වෙහෙස නොවී මුදල් ඉපයීමට යාම මායාවකි. සූදුවට යොමුවීම විනාශයට හේතු වේ. සූදුව පිටු දැකීම පිළිබඳ ව දේව වචනයේ සඳහන් දේ අධ්‍යයනය කරමු.

"හිතා මතා ක්‍රියාශීලී ව වැඩ කරන මිනිසාට සමෘද්ධිය නියත ය.
ඉක්මන්කාර මිනිසාට දිලිඳුකම සිකුරු ය.
වංචාවෙන් පොහොසත් වන මිනිසාගේ වස්තුව
මීදුමක් සේ පහ ව යයි.
ඔහු මරණයේ මළපත්වල ද පැටලේ.
යුක්තිය කරන්න අකමැති නිසා දුෂ්ටයෝ
තමන්ගේ ම අපරාධවලින් වැනසෙති.
හිතෝපදේශ 21 : 5 - 7

ඉහත දෙව් වදනට අනුව අප;

  • ජීවිතයේ සමෘද්ධිය අත්කර ගැනීමට නම් සැලසුම් සහගත ව කාර්යක්ෂම ව වැඩ කිරීමත්,
  • අයුතු කෙටිකාලීන ලාභ අපේක්ෂා නොකිරීමත්,
  • සූදුව සම්පූර්ණයෙන් පිටු දැකීමත්,
  • යුක්තිය ඉටු කරමින් ජීවත් වීමත්, අවශ්‍ය වේ.

මෙලෙස සදාචාරාත්මක යහපත් ජීවිත පැවැත්මක් තුළ අපට දේව කරුණාවත්, සමෘද්ධිය හා සැනසීමත් හිමි වන බව නියත ය.

තව ද අප වරදට යොමු නොවී යොවුන් වියේ දී ම දෙවියන් වහන්සේගේ මග පෙන්වීම සොයමින් කඩිසර ව ක්‍රියා කරන දරුවන් විය යුතු බව ධර්මදේශකයා පොතේ 11:9 හා 12:1 මෙලෙස සඳහන් වේ.

මෙලෙස දේව වචනයේ සඳහන් දෙව් වදන් පිළිපදිමින් ජීවත් වීම කිතුනු දරුවන් වන අපගේ වගකීම වේ. ඒ පිළිබඳ ව 1 කොරින්ති 10:31 හි සඳහන් වන්නේ "සියල්ල දේව ගෞරවය උදෙසා කළ යුතු බව ය"

තරුණ වියේ ජීවත් වන ඔබ සියල්ලේ දී විමසා බැලිය යුතු වන්නේ ඔබට රිසි දේ නොව දේව කැමැත්තට අනුකූල බවයි. අප අපට රිසි දේ කරන කල තෘප්තියත් ලෝකයා සතුටු කළ හැකි දේ කරන කල සමාජය තුළ ඇගයීමට ලක්වීමත් සිදු වුව ද දිනෙක දෙවියන් වහන්සේගේ විනිශ්චයට අප ලක්වන බව ද සිහි තබා ගත යුතු වේ.

තරුණ වියේ දී අපි අපගේ ශක්ති ප්‍රමණයෙන් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ මෙහෙවර උදෙසා ශ්‍රමය, කාලය, ධනය, බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු වෙමු. මෙලෙස නිසි කල නිසි දේ නිසි ලෙස ක්‍රියාවට නැංවීම යෝග්‍ය වේ.

අපගේ ක්‍රියාව
අපගේ කථාව
අපගේ සිතුවිලි

යන සියල්ල යහපත් කර ගනිමින් සියල්ල දේව ගෞරවය උදෙසා ම පමණක් කැප කළ යුතු වෙමු.

සිතට ගන්න.

  • සදාචාරාත්මක සමාජයක් ගොඩ නැගීමට එහි සාමාජිකයන් වන අපගේ වගකීම මැනවින් ඉටු කිරීම දේව අභිප්‍රාය ඉටු කිරීමක් ම බව මතක තබා ගනිමු.
  • එසේ සදාචාරාත්මක සමාජයක් ගොඩ නැගීමට අපත් ජීවිතාදර්ශයෙන් දායක වෙමින් යහපත් පැවැත්මෙන් යුතු දිවි පෙවෙතක් ගත කිරීමට අදිටන් කර ගනිමු.
  • කිතුනු දරුවන් සේ සමාජයේ යහපත් හා නිවැරැදි දේ පමණක් ක්‍රියාවට නංවමු.