10 - දොර්කස් ශුද්ධාත්ම බලයෙන් යළි ජීවිතය

ක්‍රියා 9 : 36-42

සිසු දරුවන් එදින පන්තියට පිවිසියේ වෙනදාට වඩා උනන්දුවකිනි. පෙර සතියේ පවරන ලද පැවරුමට අනුව ඔවුන් සුදානම් වූ නාට්‍යය ඉදිරිපත් කරන තුරු ඉවසිල්ලක් දරුවන්ට නොවී ය.

ගුරුතුමිය :

ආයුබෝවන් දරුවනි.

ළමයි :

ආයුබෝවන් ගුරුතුමියනි.

ගුරුතුමිය :

මා පසුගිය සතියේ දුන්න පැවරුමට අනුව ක්‍රියා 9 පරිච්ඡේදයේ 36-42 දක්වා බයිබල් කොටස නිර්මාණාත්මක ව ඉදිරිපත් කිරීමට සූදානම් වෙලා ආවා ද?

ළමයි :

ඔව්, අපි ලෑස්තියි ඒ කතාව නාට්‍යයක් ආකාරයට ඉදිරිපත් කරන්නට.

ගුරුතුමිය :

හොඳයි, එහෙනම් දැන් මේ දරුවන්ට එයට අවස්ථාව ලබා දෙනවා.

(දරුවෝ පෙර සූදානම් වූ ලෙස තම තමාට නියමිත කොටස රඟ දැක්වීම සඳහා ස්ථානගත වූහ.)

පොතේ ගුරු:

අද දින මෙලෙසින් - ඔබ වෙත ගෙනෙන සුපුවත නම්; ජොප්පාවෙහි විසූ - දොර්කස් හෙවත් මුවදෙන අර්ථය ඇති "තබීතා" නම් කාන්තාව - අත්දුටු පුදුම සහගත සිදුවීම පිළිබඳවයි. - මේ අප සූදානම් - ඇය මුහුණ දුන් එම අත්දැකීම - ඔබ හමුවේ බෙදා ගැනීමටයි.

කාන්තාවක් :

අනේ... අනේ... ඉක්මනට එන්න. බලන්න අසනීපයෙන් සිටි තබීතාට වෙලා තිබෙන දෙය. මට නම් මෙය දරා ගන්න බැහැ. ඇය අප දාලා සදහට ම යන්න ගිහිං.

වැන්දඹු කාන්තාවක් :

මොනවා! ඇය මැරිලා... අප දාලා ගිහිල්ලා... අයියෝ මේ මොන දුකක් ද අපට වුණේ! ඇය අප සමග සිටිය දී කෙතරම් යහපත් ක්‍රියා කළා ද! කෙතරම් දේ දන් දුන්න ද!

කාන්තාවක් :

අපට නම් මෙය දරාගත නොහැකියි. අනේ දෙවිඳුනි! අපට පිහිට වුව මැනව.

වැන්දඹු කාන්තාවක් :

අපි ඉක්මනට මේ බව පේදුරු තුමාට දැනුම් දෙමු. ඉක්මන් කරමු. පේදුරු තුමා ඉක්මනින් ගෙන්වා ගනිමු.

පොතේ ගුරු:

ඔවුහු රෝගී ව මරණයට පත් වූ - තබීතා නම් වූ කාන්තාවගේ දේහය නාවා, උඩුමහලක තැබූහ. - ලිද්දාව ජොප්පාවට සමීප බැවින් පේදුරු එහි සිටින බව දැන. - "පමා නොවී අප වෙත එන්නැයි" අයදිමින් පේදුරුට පිණිවුඩයක් යැවූහ. - කී ලෙසට ම පේදුරු එම ස්ථානයට පැමිණ - උඩුමහලට ගමන් කළේ ය.

(කාන්තාවෝ පේදුරු වටා රොක්වී හඬ හඬා දුක් වෙමින් සිටිති.)

වැන්දඹු කාන්තාවක් :

අනේ පේදුරුතුමනි, ඇය ජීවත් ව සිටිය දී වැන්දඹු අපට මසා දුන් කමිස, කබා මේ බලන්න. ඇය අපට කෙතරම් නම් ආදරය කළා ද?

කාන්තාවක් :

අනේ ඔව් ඇය අපට කෙතරම් උපකාර කළා ද?

පොතේ ගුරු:

මේ සියල්ල අසා සිටි පේදුරුතුමා ඔවුන් සියල්ලන් බැහැර කර තබීතාගේ දේහය ළඟ දණින් වැටී යාච්ඤාවේ යෙදුණේ ය. අනතුරුව ශුද්ධාත්ම බලයෙන් ක්‍රියා කරමින් මෙසේ පැවසී ය.

පේදුරුතුමා :

"තබීතා නැගිටින්න."

(තබීතා ඇස් ඇර නැගිට පේදුරුතුමා දැක හිඳගනියි.)

පොතේ ගුරු:

එවිට පේදුරුතුමා - ඇය අතින් අල්ලා නැගිටුවා - සැදැහැවතුන් ද, වැන්දඹුවන් ද කැඳවා - ජීවත් ව සිටි ඇය ඔවුනට භාර දුන්නේ ය. - මේ පුවත ජොප්පාව පුරා ම පැතිර ගියේ ය.

ගුරුතුමිය :

බොහොම හොඳයි දරුවනි. ඔබ නාට්‍ය ඉදිරිපත් කරන්නට හොඳට සූදානම් වෙලා පැමිණ තිබෙන බව පෙනෙනවා. දැන් අපි බලමු මේ කතාව තුළින් අපගේ ජීවිතවලට ගත හැකි ආදර්ශ හා අත්දැකීම් මොනවා ද කියලා.

දයානි :

තබීතා මෙන් අපිත් යහපත් වැඩවල නිරත විය යුතුයි. අන් අයට උපකාර කළ යුතුයි.

ශ්‍රියානි :

තමාට ඇති හැකියාවෙන් අන් අයගේ ජීවිත ශක්තිමත් කිරීමට යමක් කළ යුතුයි.

කමනි :

සමාජයේ අසරණ ව සිටින අයට, වැන්දඹු අයට, අවශ්‍යතා ඇති අයට තබීතාට මෙන් අපගේ උපකාර ලබාදිය යුතුයි.

සුමිත් :

වැන්දඹුවන් එදා සමාජයෙන් ප්‍රතික්ෂේප ව සිටි පිරිසක්. අපගේ අවධානය නිරතුරුව සමාජයෙන් කොන්වූ එවන් අය කෙරෙහි යොමු විය යුතු ය.

දයානි :

කෙනෙකුගෙ කරදරයක දී එකමුතු ව ක්‍රියා කළ යුතුයි.

ලාල් :

ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය පිළිබඳ ව විශ්වාස කළ යුතුයි.

ගුරුතුමිය :

සියලලන්ගේ ම අදහස් නිවැරැදියි. එසේ ම ලාල්ගේ අදහස මේ අතරින් ඉතා ම වැදගත්. මේ කතාව තුළ තබීතා ජීවත් ව සිටිය දී සිදු කළ යහපත් ක්‍රියා අපට ආදර්ශයක්. ඒ වගේ ම මෙම කතාවෙන් අප වෙත ගෙන එන වැදගත් ම අත්දැකීම වන්නේ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය කරණකොටගෙන ඇය මරණින් නැගිටුවනු ලැබීමයි.

 

සිතට ගනිමු

මෙලෙස ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය මරණය අභිබවා ක්‍රියා කරන බව අපි මෙහි දී අත් දකින්නෙමු. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරිත්වය තුළ බොහෝ අය ශක්තිමත් වූහ. එදා දුර්වල ව සිටි ගෝල පිරිස ශුද්ධාත්ම බලය කරණකොටගෙන මළවුන් නැගිටුවීමට පවා නොබිය ව ඉදිරිපත් වූහ. ඔවුහු ඇදහිල්ලෙන් යුතු ව අවස්ථාවට අනුව ක්‍රියා කළහ. මරණය අභිබවා ක්‍රියා කිරීමට ශුද්ධාත්ම මඟ පෙන්වීම ලබමින් තබීතා නැවත නැගිටුවනු ලැබුවේ එම ඇදහිල්ල තුළ ක්‍රියා කිරීමෙනි.

එදා මෙන් ම අදත් ශුද්ධාත්මයාණන් වහන්සේ ක්‍රියා කිරීම තුළ බොහෝ බලවත් දේ ලෝකයේ සැම තැනක දී ම, සැම මොහොතක දී ම සිදු වෙමින් පවතියි. අපගේ ජීවිතවල බලාපොරොත්තු රහිත අවස්ථාවන්හි දී ශුද්ධාත්මයාණන් වහන්සේ මැදිහත් වෙමින් අපට සහනය සැනසුම සලසා දෙන සේක. ඒ පිළිබඳ ව අප ලබන අත්දැකීම් සාක්ෂි ලෙස අන් අය සමග ඛෙදා ගැනීම ඉතා ම වැදගත් වේ.