11 - ස්තේපන් ශුද්ධාත්ම බලයෙන් මරණයට මුහුණ දීම

ක්‍රියා 7 : 54-60

රෝම අධිරාජ්‍යයේ යටත් රාජ්‍යයක් වූ පලස්තීනය තුළ මුල් කිතුනු සභාවේ ආරම්භය සිදු විය. එහෙයින් රෝම අධිරාජ්‍යයේ පීඩාවන්ට මෙන් ම අන්තවාදී අදහස් දැරූ ජුදෙව්වන්ගේ පීඩාවන්ට ද මුල් කිතුනු සභාවට මුහුණ දීමට සිදු විය. එලෙස මුල් කිතුනු සභාව විවිධ අභියෝගවලට මුහුණ දෙමින් නමුත් ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ සවිමත් වෙමින් දිනෙන් දින වර්ධනය වෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වන්නට විය. එලෙස මුල් කිතුනු සභාව මුහුණ දුන් පීඩා කිහිපයක් මෙසේ ය.

  • කිතුනුවන් ජුදා ව්‍යවස්ථාවට අපහාස කරන්නන් ලෙස සැලකීම
  • ඔවුන් රෝම අධිරාජ්‍යයට අවනත නොවන පිරිසක් ලෙස සලකා පීඩාවලට ලක් කිරීම
  • ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සාක්ෂි දැරීම තහනම් වීම
  • අසාධාරණ අයුරින් නඩු තීන්දු ලබා දීම
  • එලෙස සාක්ෂි දරන පුද්ගලයන් සිරභාරයට ගැනීම
  • කස පහර ලැබීම වැනි හිංසාකාරී පීඩනවලට ලක්වීම

මෙවැනි පීඩාකාරී පසුබිමක් තුළ පවා නොබිය ව ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවිතය කැපකරමින් සභාවේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කළ පිරිසක් වූහ. මොවුන් අතරින් සභාව වෙනුවෙන් කැපවී ක්‍රියාකර මරණයට පවා මුහුණ දුන් අය වේද සාක්ෂිකයන් ලෙස නම් කරන ලදහ.

එලෙස කිතුනු සභාව වෙනුවෙන් පළමුවෙන් ම තම ජිවිතය පූජා කළ වේදසාක්ෂිකයා වන්නේ ස්තේපන් තුමා ය. මෙතුමා වනාහි ප්‍රේරිතයන් විසින් ගෝල සමූහයා අතරින් උපස්ථායකයන් ලෙස තෝරා පත්කර ගත් විශේෂ පුද්ගලයන් සත්දෙනා අතරින් කෙනෙක් විය. මුල් කිතුනු සභාවේ ශීඝ්‍ර වර්ධනයත් සමග ජේසුස් වහන්සේගේ ගෝලයන් ඉතා ම කාර්ය බහුල වූයෙන් සභාවේ සහනාධාර ඛෙදා දීම වැනි ශුභසාධන කටයුතු සඳහා මෙලෙස උපස්ථායකයින් සත් දෙනෙක් පත්කර ගන්නා ලදහ. මෙහි දී ස්තේපන් ප්‍රධාන තැනක් ගෙන ක්‍රියා කළ අතර ඔහු සතු වූ සුවිශේෂ ගුණාංග කිහිපයක් හඳුනාගත හැකි ය.

  • පොදුවේ සැම දෙනෙකු විසින් ම ඔහු යහපත් පුද්ගලයෙකු ලෙස පිළගනු ලැබූ තැනැත්තෙකු වීම
  • ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ක්‍රියාකළ පුද්ගලයෙකු වීම
  • ප්‍රඥාවෙන් යුතු ව ක්‍රියා කළ පුද්ගලයකු වීම
  • ස්ථීර ඇදහිල්ලකින් ක්‍රියා කළ පුද්ගලයෙකු වීම

මුල් කිතුනු සභාව වෙනුවෙන් තම ජීවිතය කැප කළා වූ ස්තේපන් දේව වරප්‍රසාදයෙන් ද දේව ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුම පුදුම දේ ජනතාව අතර සිදු කළ බව අපෝස්තුළුවරුන්ගේ ක්‍රියා පොත (ක්‍රියා 6:8) අපට පෙන්වා දෙයි.

දක්ෂ කථීකයෙකු වූ ස්තේපන්ගේ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැගී සිටීමට එදා සිටි ජුදා නායක පූජකයන්ට නොහැකි විය. මේ නිසා දෙවියන් වහන්සේට හා මෝසෙස්ට අපහාස කරතැ'යි චෝදනා කොට ඔහු අත් අඩංගුවට ගනු ලැබී ය. අනතුරුව ජනතාව ද, පූජා මුලිකයන් හා විනයධරයන් ද ඔහුට විරුද්ධව උසිගන්වා බොරු සාක්ෂිකාරයන් ද සමග ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට පමුණුවනු ලැබී ය. ජුදා මන්ත්‍රණ සභාව ඉදිරියේ ඔහුට විරුදධ ව චෝදනා විභාගයට ගැනීමේ දී ඔහුගේ මුහුණ දේව දූතයකු මෙන් දිස් වූ බව ක්‍රියා 6:15 හි සඳහන් වේ.

ස්තේපන්තුමාගෙන් අපගේ දිවියට......

  • නිර්භීත ව සාක්ෂි දැරීමටත් නිවැරැදි කිරීමටත් යොමු වෙමු

ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වූ ස්තේපන් නොබිය ව එදා ජුදෙව්වරුන් ගමන් කළ මාර්ගය නිවැරැදි කිරීමට උත්සාහ කළේ ය. දෙවියන් වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරුවේ ය. එසේ ම අපි ද ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දැරීමට ද අන් අය යහ මඟට යොමු කිරීමට ද යොමු වෙමු.

  • ශුද්ධාත්ම මඟපෙන්වීම ඔස්සේ ගමන් කරමු

ස්තේපන් තමන් මුහුණ දුන් පීඩා අබියස ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව ස්වර්ගය දෙස බැලූවේ ය. එහි දී ස්තේපන්ට ස්වර්ග දර්ශන දැක ගැනීමටත් දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය දැක ගැනීමේ භාග්‍යයත් උදා විය. එසේ ම අපගේ පීඩා හමුවේ අප ශුද්ධාත්මයාණන් වහන්සේගේ මගපෙන්වීම කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් එම මඟපෙන්වීම අනුව ක්‍රියා කිරීමට උත්සාහ දරමු.

  • ස්වර්ගික හඬට සවන් දෙමු

ස්තේපන්ගේ ජීවිතයේ අවසාන මොහොතේ අත්දැකීම්, "ස්වර්ගය මිනිසා වෙත විවර වූ අවස්ථාවක්" ලෙස අත්දැකීමට අපට ද හැකි වේ. එහෙත් එදා ස්තේපන් අත්දුටු ස්වර්ගික දර්ශනය ඔහු විසින් ප්‍රකාශ කරනු ලැබුව ද එම හඬට සවන් දීම ප්‍රතික්ෂේප කරමින් ජුදා මන්ත්‍රණ සභාව තුළ රැස් ව සිටි පිරිස ඔවුන්ගේ කන් වසා ගත්තෝ ය. ලෝකයේ විවිධ ලෞකික දෙයට වහල් වන අපි දෙවියන් වහන්සේගේ හඬට සවන් නොදෙන්නෙමු. එහෙත් අපගේ ජීවිතයේ සියල්ලේ දී ප්‍රමුඛතාව දෙවියන් වහන්සේට හිමිකර දෙමින් දෙවියන් වහන්සේගේ කැමැත්තට අවනත ව ක්‍රියා කිරීම වැදගත් වේ.

  • දේව කැමැත්ත හඳුනාගෙන එය ජීවිතයට අදාළ කර ගනිමු

ස්තේපන් විසින් ශුද්ධාත්මයෙන් පූර්ණ ව සිදු කළ දේශනාව ජුදා මන්ත්‍රණ සභාවට දරා ගැනීමට නොහැකි විය. එම නිසා ඔවුන්ට නිවැරැදි දෙය කුමක් ද කියා වටහා ගැනීමට ද නොහැකි විය. එදා ස්තේපන් තම දේශනයෙන් ප්‍රකාශ කළ අදහස් අවබෝධ කර ගැනීමට ඔවුන්ට ශක්තියක් නොතිබුණේ ඔවුන් නපුරට යටත් ව ක්‍රියාකළ නිසා ය. එසේ ම අපි ද නපුරට යටත් ව සිටින විට දී ශුද්ධාත්මයාණන් විසින් ගෙනෙනු ලබන පණිවුඩය නොසලකා හරින්නෙමු; ප්‍රතික්ෂේප කරන්නෙමු. එබැවින් අන් අය මගින් ගෙන එනු ලබන දේව පණිවුඩයට සවන් දීමටත් ඒවා ජීවිතයට අදාළ කර ගැනීමටත් සූදානම් ව සිටිමු.

  • සදාතන ජීවිතය ජයගැනීමට උත්සාහ කරමු

කිතුනු ජීවිතයේ ජයග්‍රහණය යනු ලෞකික ජීවිතයේ දී මනුෂ්‍යයා සිතන පතන ජයග්‍රහණ අභිබවා යන ක්‍රියාදාමයකි. එය මරණය පවා අභිබවා යන ස්වාර්ගික ජයග්‍රහණයකි. එම නිසා ස්තේපන් තුමා මරණයේ පීඩා අභියස, යාච්ඤාවෙන් යුතු ව ස්වර්ගය දෙස දෑස් ඔසවා සිටියේ ස්වාර්ගික ජීවිතය ජය ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ ලෝකයේ ජීවිතය තාවකාලික වන අතර සදාතන ස්වර්ගීය ජීවිතය ළඟාකර ගැනීමට අපි උත්සාහ කරමු.

  • පීඩාකාරී අවස්ථාවල දී යාච්ඤා කරමු

ස්තේපන් තුමා මරණයේ පීඩා අභියස දී පවා දෙවියන් වහන්සේට යාච්ඤා කළේ ය. අපි ද එසේ ම ජීවිතයේ දුක් පීඩා ගැටලූ සියල්ල දෙවියන් වහන්සේට බාර දීමට ක්‍රියා කරමු. අප වෙත පැමිණෙන පීඩා ඉදිරියේ විශ්වාසයෙන් හා ඇදහිල්ලෙන් ක්‍රියා කරමු.

  • සතුරන්ට සමාව ලබා දෙමු

ජේසුස් වහන්සේගේ සැබෑ අනුගාමිකයකු වූ ස්තේපන් තුමා කුරුසියේ දී ජේසුස් වහන්සේ තම සතුරන්ට සමාව දුන්නාක් මෙන් තමාට පීඩා කළ අයට සමාව දුන්නේ ය. එලෙස අපට විරුද්ධ ව විවිධ පීඩා කරන අයට අපගේ හදපතුලෙන් ම සමාව දීමට යොමු වෙමු. ස්තේපන් තුමාගේ අවසාන ප්‍රකාශය වුයේ තමන්ට පීඩා කළ සතුරන් වෙනුවන් යාච්ඤා කිරීමයි. අප ද අපට පීඩාකරන්නන් වෙනුවෙන් යාච්ඤා කිරීම ද වැදගත් වේ.

ස්තේපන් තුමාට සියලූ අභියෝග මැද ධෛර්යයෙන් යුතු ව ක්‍රියා කිරීමට හැකි වූයේ එතුමා ශුද්ධාත්මයාණන්ගෙන් සවිමත් ව ක්‍රියා කළ නිසා ය. කිතුනුවන් ලෙස අප ද අප වෙත පැමිණෙන සියලූ බාධක අභියෝග ශුදධාත්මයාණන් වහන්සේගේ මඟපෙන්වීම තුළ ජයගැනීමට යොමු වෙමු.