අමිල දහමක් ලොවට දායාද වූ පින්බර වෙසක් මංගල්‍යය

අමිල දහමක් ලොවට දායාද වූ පින්බර වෙසක් මංගල්‍යය

අමිල දහමක් ලොවට දායාද වූ පින්බර වෙසක් මංගල්‍යය


 

සකළ ලෝක වැසියාගේම යහපත පිණිස ලොව පහළ වූ ශ්‍රේෂ්ටතම මනුෂ්‍යයා වූ ගෞතම බුදු රජාණන්වහන්සේගේ උතුම් තෙමඟුල සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යනු සැබවින්ම පින්බර දිනයකි.
ලුම්බිණි සල් උයනේ සිදුහත කුමරුන්ගේ ඉපදීමත්, බුද්ධගයාවේ ඇසතු බෝ රුක මුල සිදුහත් බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කර ගැනීමත්, කුසිනාරා නුවර ගෞතම බුදු රජාණන්වහන්සේගේ පරනිර්වාණයත්, යනු එම උතුම් තෙමඟුලයි.
සකළ ලෝක බොදු ජනයා නොයෙකුත් ආකාරයේ ආමිස හා ප්‍රතිපත්තිමය පූජාවලින් යුතුව මෙම පින්බර වෙසක් මංගල්‍යය සමරති. බුදුන් වහන්සේම දෙසූ පරිදි දාන, සීල, භාවනා ආදී ප්‍රතිපත්තිමය පූජාවලට මුල් තැන දෙමින් පින්බර වෙසඟ සැමරීම කාගේත් යුතුකමකි.
වෙසක් තොරණ, පහන් කූඩු ආදී නොයෙකුත් සැරසිලි ආදියෙන් වෙසක් සමය ආලෝකවත් වී තිබීම සුලබ දසුනකි. සිංහල බෞද්ධ ජනතාවට හුරු පුරුදු දන් දීම ප්‍රකට කරන දන්සල් පැවැත්වීමද වෙසක් සමය වෙනුවෙන් නොවරදවාම සිදුවන කටයුත්තකි. වර්තමානය වන විට අන්‍යාගමිකයන්ගේ සහදයද මෙවැනි කටයුතු සඳහා ලැබීම යහපත් ප්‍රවනතාවකි.
නමුත් අවාසනාවකට වර්තමානය වන විට ඇතැම් පිරිස් විසින් පින්බර වූ වෙසක් මංගල්‍යයට වැරදි අර්ථ නිරූපණයන් ලබා දෙමින් කටයිතු කිරීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි. හොල්මන් ගෙවල්, යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, ආදී අමනුෂ්‍ය පෙනුම ඇති වෙස් මුහුණු පැළඳීම ආදී පින්බර වෙසක් මංගල්‍යයට කිසිදු සම්බන්දතාවක් නැති ක්‍රියා ඒ අතර වේ. වෙසක් මංගල්‍යයේ නියම අරුත කියා දෙමින් අපේ ඉදරි පරම්පරාව හෝ ඉන් මුදවා ගැනීම සියලු වැඩිහිටියන්ගේ යුතුකමකි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී අප රටට පැමිණි ඇමෙරිකානු ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් තුමා වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කර දුන්නේ එවැනි නොමනා ක්‍රියාවන් කිරීමට නොවන බව අප විසින් සිහි තබා ගත යුතුය.
තවද පහන් කූඩු නිර්මාණය ආදී ආමිස පූජාවන්හි නොපෙනෙන පැතිකඩක්ද අනාවරණය කර දීමට කැමැත්තෙමි. එනම් කුඩා දරුවන්ට සිය හසුරු කුසලතාවන් වැඩි දියුණු කර ගැනීමටද මෙමගින් අවස්ථාව සැලසේ. තමා විසින්ම කපා ගන්නා ලද උණ බට, සව්කොළ ආදියෙන් තැනූ පහන් කූඩුව ආලෝකවත්ව ඇතිවිට ඒ තුලින් කුඩා දරුවන් තුළ ආත්මභිමානයක්ද ගොඩනැගේ. එමෙන්ම පිරිසක් විසින් එක්ව මෙවැනි පහන් කූඩු තැනීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම වැනි යහපත් ගුණාංගයන්ද දරුවන් තුළ වැඩෙන බව නොරහසකි.
නමුත් වර්තමානය තුළ මුදල් පසුපසම හඹා යන සමාජයක් බිහිවී ඇති හෙයින්ම වැඩිහිටියන් මෙන්ම දරුවන්ද කාර්යබහුල වී ඇත. ඉහත ආකාරයට වෙහෙස වී පහන් කූඩු තැනීමට කාලය මෙන්ම හසුරු කුසලතාවද නොමැති වී ඇත. එම නිසාම වෙළඳ පොලෙන් මිළදී ගත් පහන් කූඩු ආදියෙන් තම නිවාස ආලෝකවත් කිරීමට ඔවුන්ට සිදුවී ඇත. නමුත් මෙවැන්නකින් ඉහත දැක්‌වූ ආත්මාභිමානය හා සාමුහිකත්වය වැනි යහපත් හැඟීම් දරුවන් තුළ නොවැඩෙන බව අප විසින් අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යයකි.
අවසාන වශයෙන් වැදගත් පණිවුඩයක් අවධාරණය කළ යුතුය. එනම් බෞද්ධයන්ගේ ඒකායන අරමුණ විය යුත්තේ උතුම් වූ නිවන් මඟ අවබෝධ කර ගැනීමයි. එබැවින් වෙසක් මංගල්‍යය අප විසින් සැමරිය යුත්තේද එම අරමුණෙහි එක් පියවරක් වශයෙනි. එමෙන්ම අප ඉදිරි පරම්පරාවේ යහපත උදෙසාද පින්බර වෙසක් මංගල්‍යයේ නියම අරුත ඔවුන් වෙත දායාද කරමු.


කතෘ : Hashan Madhumal
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 3,858
කැමති ගණන : 2