නිවෙමු සැනසෙමු(යොවුන් සිතට I)

නිවෙමු සැනසෙමු(යොවුන් සිතට I)

වර්තමාණ තරුණ පරපුර පෙරට වඩා විචාරශීලී, බුද්ධිමත් මෙන්ම තර්කානුකුලව යමක් දෙස බලන පිරිසක් යැයි කීම වරදක් නැත. පොදුවේ පිළිගත් මතය නම් තරුණ කාලය යනු ලෞකික සැප සම්පත් උපරිමෙන් විඳිමින්, විනෝදයෙන් ජීවිතය ගත කිරීමට කැමති වකවානුවකි. නමුත් වර්තමානයේ අධ්‍යාත්මික සුවය සොයා යාමට තරුණ පිරිසගේ නැඹුරුව මැදි වියේ සිටින්නන්ට වඩා වීම සතුටට කරුණකි. රූපවාහිනියට, සැණකෙළි වලට මුල් තැන දෙනවා වෙනුවට බුදු රදුන්ගේ මාර්ගයට පිවිස අපරිමිත මේ සසරින් එතෙර වීමට උත්සහ කිරීමම එක් අතකින් තමන් තමාටත් අනෙක් අතට මුළු මහත් සමාජයටත් කරනු ලබන අමිල සේවයකි.

මැදුම් පිළිවෙත ගිහියන්ට කැප නොවුවක් ලෙස මිත්‍යා විශ්වාසයක් පොදු සමාජයේ මුල්බැසගෙන තිබීම නිසා පන්සලකට දානයක් ගෙන යාමත්, පෝයට පන්සලකට යාමත් බෞද්ධයාගේ කරතව්‍ය ලෙස සිතා කටයුතු කිරීම අපට දැකිය හැකිය. නමුත් බුදු හිමි දේශනා කර අත්හේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව උතුම් බවයි. මහා සංඝරත්නයට දානයක් පිරිනැමීමෙන්, බුදු හිමිට මල් පහන් මූජා කිරීමෙන් ආමිසය වැඩේ. එතුලින් ශ්‍රද්ධාව ඇති වේ. එය බෞද්ධයෙකු වීමට ප්‍රමාණවත් වුවද, නිර්වාණ මාර්ගයට ඉන් අර්ථයක් සිදු නොවේ.සැබවින්ම මා මෙවැනි ලිපියක් ලිවීමට අදහස් කලේ උඩුගං බලා පීනීමට උත්සුක වන කවරෙකුට හෝ අස්වැසිල්ලක් වනු පිණිස මිස විවේචනයක් හෝ වෙනත් කිසිදු පරමාර්ථයකින් නොවන බව අවධාරණයෙන් කිව යුතුය. යමක් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීමට හැකි යෝග්‍යම නව යොවුන් විය, ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කිරීමට ආරම්භ කිරීම සුදුසුම වකවානුවයි.තර්කනය තුලින් යමක් පිලිගැනීමටත් බැහැර කිරීමටත් හොඳ මානසික ශක්තියකින් හෙබි ඔබට සත්‍ය අසත්‍ය තේරුම් ගැනීමට අපහසුවක් නැත.

බොහෝ දෙනෙක්ට ආගම දහම මතක් වන්නේ තමාට කුමක් හෝ කරදරයක්, නොඑසේ නම් සිත් තැවුලක් ඇති වූ විටයි. තවත් පිරිසකට ලෝකයේ තමන් සතුටු වන බොහෝ දේ ලද පසුවත් එහි සැබෑ සුවයක් නැති බව ප්‍රත්‍යක්ෂ වීමෙන් දහම් මගට යොමු වේ. කුමන හේතුවක් නිසා හෝ මේ මගට පිවිසීමට සිත් දීමම මා සලකන්නේ පෙර කරන ලද කුසලයක් ලෙසයි. නිර්වාණය යනු කුමක්දැයි නිවැරදිවම කිව හැක්කේ නිර්වාණයට පත් වූ අයෙකුටයි. නමුත් මේ මගට පිවිස සසර කෙටි කර ගැනීම අප කාටත් ගිහි ගෙයි සිටම කල හැක්කකි.බුදු රදුන් දේශනා කර ඇත්තේ ගිහියෙකුට මේ මාර්ගයේ පිවිස අනාගාමී ඵලය දක්වා ලබා ගත හැකි බවයි. කිසිවෙකු විවේචනය කරනවාට වඩා සුදුසු වන්නේ තමන් නිවැරදි දෙය කිරීමයි.  

ඔබ සිල්වතෙක් නම් ඔබෙන් කාටවත් කරදයක් නොවේ නම් සතුටු වෙන්න.ඔබ දැනටමත් මේ මාර්ගයට පිවිස ඇත්තෙකි.  මොහොතක් සිතන්න. ඔබ කුඩා කල අශාවෙන් පසු වුයේ ඉක්මනින් ලොකු වීමටයි. ඔබ දෙමාපියන් යටතේ සිට ඉන් මිදී සිටීම තුල සතුට ඇතැයි සිතුවා නොවේද? දැන් ඔබ ලොකුයි. එත් හිතේ සතුට ඔබට ලැබී තිබේද? ඔබ සිතයි අපි දෙමව්පියන් වී දරුවන් ලබාගැනීම තමයි සතුට කියා. නමුත් මේ හැම සතුටක් තුලම දුකද එක් වී ඇති සැටි අත්දැකීමෙන් ඔබ දැක තිබෙනවා නොවේද? මහලු වන තුරුම සතුට සොයා යන ඔබ අවසානයේ මිය යන්නේ සතුට වෙනුවට දුක පමණක්ම ලබාගෙන පසුතෙවිල්ලෙනි. නමුත් එවිට ඔබ ලෙඩ දුක් වලින් පීඩා විඳ  කයත් මනසත් එකසේ දුර්වල වී අසරණ වුවෙකු ලෙසින් මිය යන්නේ භව චක්‍රය පිලිබඳ අල්ප මාත්‍රයකවත් අවබෝධයකින් තොරවය. ප්‍රතිඵලය කුමක් වනු ඇතිද? මහලු වියට එළඹුන පසු නැවත යොවුන් වියට පැමිණිය නොහැක. යොවුන් වියේ සිටින ඔබ මේ මාර්ගයේ ගමන් කිරීම ආරම්භ කල යුත්තේ අන්න ඒ නිසයි. මරණ මංචකයේදී යථා අවබෝධයෙන් මේ භාවය අතහැර යාම අප දැන් සිටම පුරුදු පුහුණු විය යුතුය.

අනෙක් කාරණය නම් අප මැරෙන මොහොත කිසිවෙකුටත් කල් තියා දැනගත නොහෙකිය. සමහර මිනිසුන් ජීවත් වන්නේ කිසි දිනක මිය නොයන ලෙසයි. කෙසේ වෙතත් අප මේ මොහොතේ මිය යාමට සිදු වුවත් එයට මුහුණ දීමට තරම අපගේ මනස ශක්තිමත් කර ගත යුතුය . මා මේ කියන්නේ අද මැරෙයි දැන් මැරෙයි කියා සිතමින් සියලු වැඩ අතහැර සිටීමක් ගැන නොවේ. එය හොඳින් තේරුම් ගත යුතුයි. එලෙස ජීවත් වීමට පටන් ගත්‍ විට ඔබෙන් කිසිවෙකුට කරදරයක් නැත. ඔබ අතින් සිදු වන්නේ ඔබටත් අන් අයෙකුටත් ප්‍රයෝජනය ඇති යමක් මිස නිෂ්පල දෙයක් නොවේ. ඔබේ දෙමව්පියන් මේ ලෝකෙට දායාද කලේ කෙතරම් වටිනා දරුවෙක්ද යන හැගීම ඔවුන්ගේ මනසට දැනේ නම් එයද කෙතරම් අගනේද?  

සිල්වත් ජීවිතයක් ගත කිරීම සැබවින්ම විශාල කැපකිරීමකි. මේ ශරීරයත් මනසත් ඉල්ලන්නේ ලෞකික සැපය හා සතුටයි. ඒ වෙනුවෙන් මේ ලෝකයේ බොහෝ දේ පවතී. අතීතයේ අපේ මුතුන්මිත්තන්ට වඩා ඉඳුරන් පිනවීමේ ක්‍රම තරගකාරී ලෝකයේ ඕනෑ තරම්ය. නමුත් ඒ සියල්ලම අවබෝධයෙන් අතහැර සිල්වත් ජීවිතයක් ගත කිරීම පහසු කාර්යක් නම් නොවේ. ඔබ අහල ඇතිනේ හොඳ කිසිම දෙයක් ලේසියෙන් ගන්න බෑ  කියල. ඒ වගේම අමාරුවෙන් ලබාගන්න දේ තමයි වටිනාකම තියන්නේ. බුදුන්ගේ මේ ධර්මය මේ ලෝකයේ ස්වභාවධර්මය සමග ඒකාබද්ධ වී පවතින්නක්. වෙන දිවය  ලෝකෙකවත් බ්‍රහ්ම ලෝකෙකවත් තියන දෙයක් නෙමෙයි. අපි ජීවත් වෙන මේ මිහිපිටම පවතින දේ හා බැඳුන අද්විතීය දහමක්. අපිට මේ දහම අවබෝධ වෙන්න නම් ස්වභාවදහම එක්කම ගැටෙමින් ඉන්න ඕනි. සාගරයේ ස්වභාවය හරියටම දන්නේ නැව ජලය මත හසුරවාගෙන යන නැවියෙක්  මිස එය ගොඩබිම සිට බලන්නෙකු නොවේ. මේ මාර්ගයට පිවිස ගමන් කරන්නෙකුට මේ දහම දැනෙන්නෙත් හරියට අර නැවියට සාගරය ගැන දැනෙනවා වගේ.. ඔබත් මේ සංසාර සාගරය තුල පළපුරුදු නැවියෙක් වෙන්න. පමා නොවන්න. 

මම මේ ලිපියෙන් අදහස් කලේ යොවුන් ඔබේ සිත මොහොතකට හරි වෙනස් අරමුණක් වෙත යොමු කරවන්න. මම හිතනවා යම් තාක් දුරකට එය සිදු වුවා කියා. ඔබ මේ ලිපිය තුලින් යම් යහපත් දෙයක් ලැබුවා නම් එයයි මගේ සතුට.  

තෙරුවන් සරණයි ! 

 

 

 


කතෘ : තිලිණි පෙරේරා
ලිපිය : සාමාන්‍ය ලිපි
කියවූ ගණන : 2,466
කැමති ගණන : 4