"පුතේ, ලබන මාසෙ අපේ ගෙදර දානමය පින්කමක් කරමු ද?" අත්තම්මා තාත්තාගෙන් ඇහුවා.
"ඒක නම් හොඳ අදහසක් අම්මේ, ඉස්සෙල්ලා ම ලොකු හාමුදුරුවන්ට ආරාධනා කරලා දිනයක් වෙන් කර ගන්න," තාත්තා කිවුවා.
අත්තම්මාත් මමත් දැහැත්, ගිලන්පස අරගෙන පන්සලට ගියා. ලොකු හාමුදුරුවන්ට දානයට ආරාධනා කළා. "ලබන මාසෙ විසි වෙනි දාට පින්කම තියාගනිමු" ලොකු හාමුදුරුවෝ යෝජනා කළා; දානමය පින්කමේ වැඩ කටයුතු ගැන උපදෙස් දුන්නා.
පින්කමට කලින් අපි ගෙදර හා වත්ත පිටිය පිරිසිදු කළා.ලොකු අම්මා අටපිරිකර හා සෙසු පිරිකර පූජා කරන්න භාර ගත්තා.
'හැමෝ ම පින්කමට සම්මාදම් වෙන්න' අත්තම්මා කිවුවා.
හැමෝ ම එකතු වෙලා දානයට අවශ්‍ය දේවල් සූදානම් කළා.
වැඩිහිටි අය ධාතු කරඬුව තැන්පත් කරන ස්ථානය පිළියෙල කළා; සුදු ඇතිරිලි යොදා ස්වාමීන් වහන්සේලාගේ ආසන සකස් කළා.
ස්වාමීන් වහන්සේලාගේ පා ධෝවනයට අවශ්‍ය දේවල් ලොකු තාත්තා සූදානම් කළා.
මමත් දැහැත් වට්ටිය පිළියෙල කරන්න උදවු වුණා.
දැන් අපේ ගෙදර දානමය පින්කමට සූදානම්.