තිසර :- අපි නිවාඩු කාලේ අනුරාධපුරේ වන්දනාවේ ගියා. වතුර පුරවපු ලොකු භාජනයක "පින්තාලිය" කියා ලියා තිබුණා. ඒකෙ තියෙන්නෙ වන්දනාවේ යන එන අයට බොන්න වතුර කියලා අත්තම්මා කිවුවා.
ගුරුතුමී :- ඔව් පුතේ, ඒ පින්තාලියක් !
නිපුන :- මොකක් ද ගුරු මෑණියනි, පින්තාලිය කියන්නෙ?
ගුරුතුමී :- ඉස්සර කාලේ පයින් ගමන් යන අයට පිපාසයට බොන්න අද වාගේ බීම වර්ග, වතුර බෝතල් තිබුණේ නැහැ. පින්වත් උදවිය ගමන් යන අයට බොන්න තැනින් තැන ලොකු භාජනවලට වතුර පුරවලා තැබුවා. වන්දනාවේ යන අය පින්තාලියෙන් වතුර බීලා, පිපාසය නිවා ගත්තා; පින්තාලිය හැදූ අයටත් පින් දුන්නා. පිපාසයෙන් සිටින කෙනෙකුට වතුර ටිකක් හරි දෙන්න ලැබීම ලොකු පින්කමක් පුතේ.
තරණි :- ගුරු මෑණියනි, අපිත් පින්තාලියක් හදමු.
නිපුන :- අපි හැමෝ ම බොන්න වතුර බෝතලයක් ගෙදරින් ගේනවනේ. ඒක නිසා අපට පින්තාලියකින් වැඩක් නැහැ නේද?
තිසර :- එහෙනම් අපි කුරුල්ලන්ට වතුර බොන්න පින්තාලියක් හදමු.
ගුරුතුමී :- ඒක නම් හොඳ අදහසක්. අපි කුරුලූ ලෑල්ලට කිට්ටුවෙන් ම පින්තාලිය හදමු.
සඳමාලි :- කුරුල්ලෝ වතුර බීලා නාගෙනත් යාවි.
ගුරුතුමී :- හැබැයි, පුතාලා හැමදාම පින්තාලිය පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා.