පුතා : අම්මේ අම්මේ අර කුරුලූ කූඩුවෙන්
පුංචි හොටක් එළියට එනවා
බලන්නකෝ ඒ අම්මා තාත්තා
මොනවාදෝ කන්නට දෙනවා
අම්මා : අම්මා තාත්තා උදේ රැයින් දුර
ඉගිළී හවසට ගෙට එනවා
ගෙනා කෑම පැටවුන්ට කවා උන්
හරි සතුටින් නින්දට යනවා
පුතා : කුරුලූ පැටවු මං වගේ ද අම්මේ
කෑම නොකා හැංගෙනවා ද?
මං වාගෙ ම උන් දෙමාපියන්හට
වැඳලා නින්දට යනවා ද?
අම්මා : කුරුලූ පැටවු මගේ පුතා වගේ නැහැ
කෑමට කවදත් හොර වෙන්නේ
දෙමාපියන්හට නොවැන්දාට උන්
මව් තුරුලෙයි නින්දට යන්නේ
පුතා : කෑම නොකෑවට දෙමාපියන්ගේ
මහන්සියට මං දුක් වෙනවා
සමාවෙන්න මගේ අම්මේ මේ මං
අද ඉඳලා කෑමත් කනවා
අම්මා : පුතාගේ හොඳ වැඩ හොඳ ගති දැකලා
කුරුලූ පැටවු අර හිනැහෙනවා
අම්මා තාත්තාගේ අගේ දන්න හොඳ
ළමයි කියා ගී මුමුණනවා
පුතා : හදා වඩා මට කවා පොවා ලොකු
කරන්න අම්මා වෙන වෙහෙස
උදේ හවා දහදියෙන් තෙමා ගත
තාත්තා නිවසට එයි හවස
අම්මා : පුතා දන්නේ නෑ මව්පියෝ කවුරුත්
දරුවන් හින්දා වෙන වෙහෙස
අපේ ලෝකයේ මැණික් පහන වෙන
කවුරුන්දෝ සුදු පුතා මිස
පුතා : අම්මා තාත්තා ඉර හඳ වාගේ
හැමදාමත් ලෝකයට මගේ
ආදරයෙන් ඉන්නට මං ආසයි
නිල් අහසේ තරුවක් වාගේ
අම්මා : අම්මා තාත්තාට වගේ ම කාටත්
ආදරයෙන් පුතු සලකනවා
කළගුණ දන්නා මගේ පුතා මතු
දවසක මේ ලොව බබළනවා