18 - දිළිඳුන් අතර දිළින්දෙක් වූ අපේ පියතුමා

මම නමින් මයිකල් රුද්‍රිගු. මම ඉපදුණේ 1927 ජුනි 30 වන දා. හැදුණේ වැඩුණේ දෙහිවල ප්‍රදේශයේ. මම දෙහිවල සාන්ත මරියා විදුහලෙත්, පසුව කොළඹ සාන්ත පීතර විදුහලෙත්, ඉතා හොඳින් ඉගෙන ගත්තා. මට ආශාවක් ඇති වුණා පියතුමෙක් වෙලා ජේසුස් වහන්සේ වගේ වෙන්න. ඒ වෙනුවෙන් නිතර ම යාච්ඤා කළා.

පසු ව මම නිමල මරිය නිකායට ඇතුළු වුණා. තවත් හොඳට ඉගෙන ගන්න මම රෝමයේ විශ්ව විද්‍යාලයටත්, පැරිස් විශ්ව විද්‍යාලයටත් ගියා. 1954 ජුලි මස 7 වන දින මා පියතුමකු වුණා.

බොහෝ කරදර විඳිමින්, ගොවිතැන් කර ජීවත් වන අසරණ මිනිසුන් සිටිය බුත්තල ගමට සේවය කරන්න මම කැමති වුණා. මම ඒ ප්‍රදේශයේ මැටිවලින් පුංචි ගෙදරක් හදා ගත්තා. ඒ ගෙදර නම තමයි "සුබසෙත් ගෙදර" මම හැමදාම දිව්‍ය පූජාව සිදු කළේ මේ ස්ථානයේදී ම යි.

මේ මිනිස්සු විඳින දුක් වේදනා දුටු මට අප වෙනුවෙන් දුක් විඳි ජේසුස් වහන්සේ මතක් වුණා. ඒ නිසා මමත් ඒ අය සමග වැඩ කළා. පොළොව කෙටුවා. ගොවිතැන් කළා. ඔසු පැළ රාශියක් වගා කළා.

පුංචි කාලේ ඉඳල ම අපි පුරුදු වෙන්න ඕනෑ දුක්විඳින, අසරණ, දිළිඳු අය තුළින් ජේසුස් වහන්සේ දකින්න. සොබා දහමට, ගහ කොළවලට සතා සිවුපාවට, සමනලුන්ට, කුරුල්ලන්ට ආදරය කරන්න. එවිටයි දෙවි පියාණන් වහන්සේ අප දෙස බලා සතුටු වෙන්නේ.

මම,
ජේසුස් වහන්සේ තුළ,
මයිකල් රුද්‍රිගු පියතුමා.

සුපුරුදු ලෙස පියතුමා එදත් උතුම් වූ දිව්‍ය පූජාව පැවැත්වුවා. ඒ 1987 නොවැම්බර් 10 වනදා ඒ මොහොතේ දී පියතුමාගේ යහපත් සේවයට විරුද්ධ වූ අයෙකුගේ වෙඩි පහරකින් පියතුමාට ජීවිතය අහිමි වුණා. පියතුමාට මේ සිද්ධියට මුහුණ දීමට සිදු වූයේ එඩිතරව යහපත කළ නිසා. ඒත් යහපත් දේ වෙනුවෙන් අපේ උත්සාහය අත් හරින්න හොඳ නැහැ.

ආදර දෙවි පියාණනි, මයිකල් රුද්‍රිගු පියතුමා වගේ දිළිඳු, අසරණ
අය තුළින් ජේසුස් වහන්සේ ව දකින්න අපටත් උදවු වුව මැනව.
ආමෙන්.