ක්රියා 7 : 59 - 60
මගේ නම මානෙල්. මම පාසලේ තුන්වන පංතියේ ඉගෙන ගන්නෙමි. හැම දා ම මා නින්දට යන විට අපේ අම්මා මට බයිබල් කතාන්දර කියා දෙන්නී ය. ඇය කියා දෙන රසවත් කතාන්දර අහන්න මා හරි ම ආසයි. මා ඒ කතා අසා නින්දට ගිය විටත් මට හීනෙන් පෙනෙන්නේ ඒ කතාන්දර ම ය.
මානෙල් : කවුද අම්මේ ස්තේපන් කියන්නේ?
අම්මා : ස්තේපන් කියන්නේ ඉතා ඇදහිලිවන්ත කෙනෙක්. ඔහු දෙවියන් වහන්සේගේ ආශීර්වාද බොහෝ සෙයින් ලැබූ මිනිසෙක්. ස්තේපන් දෙවියන් වහන්සේගේ බලයෙන් අරුම පුදුම දේ ජනතාව අතර ඉටු කළ කෙනෙක්. ස්තේපන් දෙවියන් වහන්සේට කළ සේවය නිසා එය නුරුස්සන මිනිසුන් ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහුට බොරු චෝදනා එල්ල කර ඔහු මරා දැම්මා.
අම්මා : දුව ... ස්තේපන් ගල් ගසන මොහොතේ දීත් දෙවිඳුන් ඉදිරියේ දණින් වැටී, "ජේසුස් ස්වාමීන් වහන්ස, මාගේ ආත්මය පිළිගත මැනව,"යි කීවේ ය. එසේ ම "මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනව," කියමින් මහා හඬින් මොරගැසුවේ ය.
මානෙල් : ස්තේපන් හරි ම පුදුම කෙනෙක් නේද අම්මේ?
අම්මා : ඔව් දුව, අපේ ජීවිතවලට කොපමණ කරදර, ප්රශ්න ආවත් ස්තේපන් තුමා ක්රියා කළා වගේ, ක්රියා කළ යුතුයි. ස්තේපන්ගේ චරිතය අපට විශාල ආදර්ශයක් ගෙන දෙනවා. සතුරන් තමා මරන විට දී ද ඔවුන්ට සමාව දීමට ස්තේපන්ට හැකි වුණා. ස්තේපන්ගේ අවසාන යාච්ඤාව බලවත්. ඔහු තමාට පීඩා කළ අයට කමාව දෙන මෙන් යාච්ඤා කළා.
මානෙල් : හරි ම ලස්සන කතාවක්. මමත් ස්තේපන් වගේ වෙනවා. සුබ රාත්රියක්.