15 - ඔසු පැළයක් සිටවමු

“බෙහෙත් පැළෑටි ගැන තොරතුරු අපි පුංචි කාලෙ ඉඳල ම හොඳින් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා බෙහෙත් පැළෑටි දැක බලාගෙන හඳුනාගැනීම හරි වැදගත්. අපේ පාසල ඉස්සරහ තියෙන වෙද මාමගේ ඔසු උයන බලන්න මම අවසර ලබා ගත්තා. එහෙනම් දූලා පුතාලා පරිස්සමෙන් යමු. වෙද මාමා කියන තොරතුරු හොඳට අහගෙන ඉගෙන ගන්න ඕනේ,” ගුරුතුමී කීවා ය.

වෙද මාමාගේ ඔසු උයනේ ගුරුතුමිය සමග ඇවිදිමින් අපි ඔසු පැළ හඳුනාගත්තෙමු.

“ආ...දූලා පුතාලා අපේ ගෙවත්තේ ඇවිදලා බෙහෙත් පැළෑටි දැන හඳුනා ගත්තා ද?” වෙද මාමා ඇසුවේ ය.

“ඔව් වෙද මාමේ, අපි ගොඩක් ඛෙහෙත් පැළෑටි දැක්කා. ඒවායේ නම් සඳහන් කරලා තියෙන නිසා අපි ඒවා කියවලාත් බැලූවා,” පබසරා කීවා ය.

“එහෙනම් දූලා පුතාලා මේ කොහොඹ ගහ යට බංකුවල ඉඳගනිමුකෝ. මං ඖෂධ පැළෑටි ගැන තොරතුරු ටිකක් කියා දෙන්නම්,” වෙද මාමා කීවේ ය.

“මේ කොහොඹ ගහ යට ඇඟට හරි ම සිසිලසක්, සනීපයක් දැනෙනවා නේද?” වෙද මාමා ඇසුවේ ය. “කොහොඹ කියන්නෙත් බෙහෙත් ගහක් පුතේ. ඒ වගේම පුතාලා මේ බෙහෙත් පැළෑටිය අඳුනනවා ද?”

“ඔව්, අපේ අම්මාගේ අත හුමාලයට පිච්චුණා. ඒ වෙලාවේ කෝමාරිකාවල මදය පිච්චුණ තැන ගෑවා. තුවාලය දින දෙක තුනකින් හොඳ වුණා,” දිනෙත් කීවේ ය.

“ඔව්, පුතේ පිලිස්සුම් තුවාලවලට විතරක් නෙවෙයි, ඕනෑ ම තුවාලයක් සුව කිරීමේ ගුණයක් කෝමාරිකාවල තියෙනවා. ඒ විතරක් නෙවෙයි රූප සෝබාව රැකගන්නත් කෝමාරිකා දිව්‍ය ඖෂධයක්.”

“අර එහා පැත්තේ හීන් පුංචි කොළ තියෙන්නේ, ඒ නෙල්ලි ගහක්. නෙල්ලි ගෙඩියක් දිනකට ආහාරයට ගන්නවා නම් ලෙඩ රෝග බොහෝමයක් වළක්වා ගන්න පුළුවන්. නෙල්ලි විටමින් සී බහුල පලතුරක්.

මේ කහ පාට මල් පිපුණු ගස රණවරා. තම්බපු රණවරා මල්, බෙලිමල් වතුර බීමට හොඳ ඔසුවක්. දැන් කාලේ තියෙන රසකාරක දැමූ බීමවලට වඩා මේ ඔසුපැන් ගුණදායකයි.

දුවේ, පුතේ මේ ඔසු උයනේ අරළු, තිප්පිලි, ආඩතෝඩා, එරබදු, කරපිංචා, හාතාවාරිය, ඉරමුසු, කටුවැල්බටු වැනි ඖෂධ වර්ග හුඟක් තියෙනවා.

අද මම පුතාලට බොන්න ඛෙලි මල් පානයක් සූදානම් කළා. හැමෝම හකුරු කෑල්ලක් එක්ක ඔසුපැන් කෝප්පයක් බොන්න.”

“මම බෙහෙත් පැළෑටි පැළ කරලා තියෙනවා. හැම කෙනෙක්ම ඔසු පැළයක් අරගෙන ගිහිල්ලා ගුරුතුමී එක්ක ඔසු උයනක් පාසලෙත් හදාගන්න.

බෙහෙතක් හොයාගෙන එන කෙනකුට ඒවා ලබා දෙන එක මහා ලොකු පින්කමක්. හැමෝම කැමැතියි නීරෝගීව ඉන්න. අපේ බුදුරජාණන් වහන්සේත් දේශනා කරලා තියෙනවානේ උතුම් ම ලාභය නීරෝගීකම කියලා.”

වෙද මාමා දැනමුතු කම් බොහොමයක් කියා දුන්නේ ය.

මෙසේ දැනුම ලබාදීම ගැන ගුරුතුමී වෙද මාමාට ස්තුති කළා ය. වෙද මාමාට නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා ය. අපි වෙද මාමාට වැන්දෙමු. වෙද මාමා අපට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කළ අතර “තෙරුවන් සරණයි” කියා ආශීර්වාද කළේ ය.

අපි ඔසු පැළ රැගෙන පාසල වෙත පිය නැගුවෙමු.