26 - වෛරයෙන් වෛරය නොසන්සිඳේ

පෝය දවසේ පන්සල් ගිය අපි
බෝධි පූජාවට සහභාගි වුණා.
බෝධි පූජාවෙන් පසුව ලොකු හාමුදුරුවෝ
අනුශාසනාවක් පැවැත්වූවා.

“න හි වේරේන වේරානි
සම්මන්තීධ කුදාචනං”

පින්වතුනි, අපි කිසිවකුටත් වෛර කරන්න හොඳ නෑ. හැම දෙනාට ම මෛත්‍රිය කරන්න ඕනේ. වෛරය හිතට ඇතුළු වුණා ම අපි අසනීප වෙන්නත් පුළුවන්.

වෛරය කියන්නේ නරක දෙයක්. මේ භවයේ දී විතරක් නොවෙයි භවයෙන් භවයට ගමන් කරන දෙයක්. දේවදත්ත හාමුදුරුවන් ගැන ඔබ අසා ඇත රන් තලියක් නිසා ඇතිකර ගත් වෛරය ආත්ම කීයක් නම් ආවා ද?

වෛර කරමින් කටයුතු කළ නිසා අවසානයේ දී දේවදත්ත හිමිට අපායට යන්න සිදු වුණා. වෛර කරන්න හොඳ නැහැ. මෛත්‍රී කිරීමෙන් පමණයි වෛරය නැති කරන්න පුළුවන්. මෛත්‍රී කරන අයට හැම දෙනා ම කැමැතියි. ඔහු හැම දෙනාගේ ම මිතුරෙක්. හැම දෙනා ම වෛර නොකර සියලූ සත්ත්වයන්ට මෛත්‍රී කරන්න පුරුදු වන්න. පින්වතුන් සෑම දෙනාට ම තෙරුවන් සරණයි.