හෝ ගා රැලි නැග්ගා. සීතල දිය බිංදු ඇඟේ වැදුණා. ලොකු රැල්ලක් ඇවිත් වෙරළේ හැපුණා. හැමෝගෙම දෙපා ඒ දිය පහරෙන් තෙමුණා. සමහරු එහා මෙහා දිවුවාෙ; සෙල්ලම් කළා.
සුළඟ හැමුවා. මුහුදේ රැලි නැගුණා. වේගයෙන් ආ මුහුදු රැල්ලක් ගල් කුළක හැපිලා සුදු පෙණ කැටි විසිරිලා ගියා. ‘හෝ’ ගාගෙන ඈතින් එන රැල්ලක් දැකලා කවුරුත් ටිකක් බය වුණා.
"හැමෝම එකට අත් අල්ලා ගන්න" ගුරුතුමිය කිවුවා.
වරුණි තැනින් තැන තිබුණු සිප්පි කටු, කවඩි එකතු කර ගත්තා. මනුකයි, තරිඳුයි වෙරළේ වාඩි වෙලා වැලි මාලිගාවක් හැදුවා. වරුණි ලස්සන ම ලස්සන සිප්පි කටුවලින් මාලිගාව සැරසුවා. හැමෝම ඒ දිහා බලාගෙන හිටියා. ගුරුතුමිය කැමරාවෙන් පින්තූරයක් ගත්තා.
සරුංගලයක් ඈත අහසේ පා වෙනවා. ඒ දිහා බලාගෙන සමහරු විනෝද වුණා.
වෙරළ අයිනේ දම් පාට බිම් තඹුරු මල් පිපී තිබුණා. ඒ දිගේ වැවුණු වැටකෙයියා ගාල වෙරළ ආරක්ෂා කරනවා කියලා ගුරුතුමිය කිවුවා. ගල් වැටි හදලා තියෙන්නෙත් අපේ ආරක්ෂාවට ලූ.
ඈත මුහුදේ නැවක් නැංගුරම් ලා තිබුණා. ගුරුතුමිය නැවේ කුඹ ගහ මුදුනේ වැනෙන කොඩිය ළමයින්ට පෙන්නුවා. ධීවර බෝට්ටු වෙරළෙ තැනින් තැන නවත්වලා. දැල් ආම්පන්න තව තැනක ගොඩ ගහලා. වෙළෙන්දෝ මාළු තෝරනවා. ලොකු ම ලොකු මාළු කූරියෝ රීදි පාටින් දිලිසෙනවා. උදේට වෙරළ හරි ම කලබල යි. මුහුදු ගිහින් ආ ධීවර පිරිසක් ළමයින්ට අත වැනුවා.
"මුහුද හරි ම ලස්සන යි."
රවිඳු දබරැඟිල්ලෙන් වැල්ලේ ලිවුවා.
"මුහුදු රැල්ලක් ආවොත් අකුරු මැකෙයි" තරිඳු කිවුවා.
"මුහුදයි, මුහුදු වෙරළයි දෙක ම ලස්සනයි. ඒ අපි හැමෝම මුහුදු වෙරළ පිරිසිදුව තියාගෙන ඉන්න නිසා" වරුණි කිවුවේ මුහුදෙ සද්දෙටත් වඩා සද්දෙන්.
"අහසයි මුහුදයි එකට ගෑවෙනවා ද?" නිසල් ඇහුවා. හැමෝම ඈත මුහුද දිහා බැලූවා.
"අපට එහෙම පෙනුණට අහස මුහුදෙ ගෑවෙන්නෙ නැහැ." ගුරුතුමිය කිවුවා.
"ඔව්, හවසට ඉර බැහැගෙන යද්දි ඉර මුහුදෙ ගිලෙනවා වගේ" සඳුනි කිවුවා.
"ඉර ගිනි බෝලයක් වගේ මුහුදෙ ගිලෙනවා බලන්න මම නම් හරි ම ආසයි" වරුණිත් කිවුවා.
"අද මම ගෙදර ගිහින් ලස්සන චිත්‍රයක් අඳිනවා" මනුක කිවුවා.