දවසක් දා අරාබි දේශයක දී පාන්දර සූර්යයා උදා විය. රන් කිරණ පතුරවමින් සූර්යයා අහසේ සෙමින් සෙමින් ඉහළට පැමිණියේ ය. ජනයා තම තමන්ගේ අවශ්යතා ඉටු කර ගැනීම සඳහා නිවෙස්වලින් පිටත් වූහ. ගොවියන් තමන්ගේ සතුන් සමඟ තණබිම් කරා ගමන් ගත් අතර, නගුල් සමඟ කුඹුරු කරා යන පිරිස් ද ඔවුන් අතර සිටියහ.
මේ අතර එදිනෙදා අවශ්යතා ඉටු කර ගැනීමට වෙළෙඳ පොළ කරා විශාල පිරිසක් ගමන් කළහ. එම පිරිස අතරේ මහලූ ආච්චි කෙනෙක් තනි ව ම පොළෙන් බඩු මිල දී ගෙන පොදි බැඳගෙන සිටියා ය.
ඉතා අමාරුවෙන් එම බඩුපොදිය ඔසවමින් ඇය ගමන් කළා ය. බඩුපොදිය සමග පාරේ ගමන් කරන්නට ද නොහැකි ව ඈ ළත වූවා ය. එවිට එක් මනුෂ්යයෙක් බඩුපොදිය සමග ළත වන මහලූ කාන්තාව අසලට පැමිණියේ ය.
"අම්මේ! මේ බඩුපොදිය මට දෙන්න. මම ඒක අම්මාගේ ගෙදරටම ගෙනැවිත් දෙන්නම්" යැයි කීවේ ය.
ඒ මාතාව ද මහත් අපේක්ෂාවෙන් එම බඩු පොදිය භාර දී සැනසිල්ලෙන් දිග හුස්මක් හෙළුවා ය. පොදිය කරගහ ගත් මනුෂ්යයා නිහඬ ව ඉදිරියෙන් ගමන් කරද්දී පසුපසින් පැමිණි මහලූ ආච්චි දොඩන්නට පටන් ගත්තා ය.
"පුතේ! අපේ ශුද්ධ වූ මක්කා නගරයේ මුහම්මද් කියා කෙනෙක් ඇවිත් ඉන්නවා. එයා අපේ මුතුන්මිත්තන්ගේ දෙවිවරුන්ට අපහාස කරනවා. පවුල් අතර අසමගිය ඇති කරනවා. පාරම්පාරික ව අපි කරපු දේවල්වලට දොස් කියනවා. එයාව අතහරින්න හොඳ නැහැ. දැන් ම දඩුවම් කරන්න ඕනේ. එයාට අවමන් කරලා අපහාස කරන්න ඕනෑ. ඉවරයක් කරලා දාන්න ඕනෑ. නැත්නම් අපේ මුළු සමාජය ම එයා පස්සෙන් යයි" කියා මග දිගට ම මහලූ ආච්චි දොඩවමින් ආවා ය.
එම මනුෂ්යයා ඈ පැවසූ සියලූ දේ නිහඩ ව ඉතා ඉවසීමෙන් සවන් දෙමින් පැමිණියේ ය. මහලූ මාතාවගේ නිවස ළඟා විය. එවිට එම මනුෂ්යයා "අම්මේ! මෙන්න අපි ගෙදරට ම ආවා. බඩුපොදිය මෙතැනින් මම තියන්නං," යැයි කීවේ ය.
එම මහලූ මාතාව පොදිය රැගෙන ආ එම මනුෂ්යයාට කුලිය ගෙවන්නට කියා ඇගේ මුදල් පසුම්බිය විවෘත කළා ය. මුදල් රැගෙන ඔහු වෙත දිගු කළා ය.
එවිට එම මනුෂ්යයා "අම්මේ! මට කුලිය එපා. අම්මාට උදවු කරන්න ඕන වුණ නිසා තමයි මම මේ උදව්ව කළේ" යැයි කීවේය.
එතුමාගේ යහගුණාංග දැක සතුටු වූ මහලූ අම්මා, "පුතේ නුඹ කවුද?" යැයි ඇසුවා ය.
"අම්මේ! මේ වෙනකං අම්මා කවුරුන් ගැන දොඩවමින් ආවා ද, අන්න ඒ මුහම්මද් තමයි මම" යැයි ඒ මනුෂ්යයා කීවේ ය.
පුදුමයට පත් වූ එම මහලූ කාන්තාව එතුමා දෙස බලා "මම දැන්ම ම නුඹගේ රබ් මාගේ දෙවියා ලෙසත්, නුඹ දෙවියන්ගේ දූතයා ලෙසත් පිළිගන්නෙමි" යැයි කලිමාව කියා ඉස්ලාමය වැළඳ ගත්තා ය.
"දුවේ පුතේ! නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ඉවසීමෙන් කටයුතු කළ නිසා කාන්තාවක ඉස්ලාමය වැළඳගත්තා නොවේ ද?
මෙම ඉතිහාසගත සිද්ධිය ඉවසීමේ අවශ්යතාව හා එහි ඵල ප්රයෝජන ද පෙන්වා දෙයි. මුස්ලිම්වරයකු ඉවසීමෙන් කටයුතු කරන විට ඔහු තුළ ධෛර්යය සහ ස්ථාවර බව ඉස්මතු වේ. කුමන ආකාරයේ තාඩන පීඩන පැමිණියත් ඒවා ඉවසා දරාගැනීමේ ශක්තියක් ලැබේ. සියලූ යහපතේ දොරටු විවෘත වේ.
එනිසා අපිත් අප ජීවිතයේ සෑම අවස්ථාවක දී ම ඉවසීමෙන් කටයුතු කිරීමට උත්සාහ කරමු.