22 - දේව කැමැත්තට අවනත වූ මරිය තුමිය

ශු. ලුක් 1 : 26-31

ගලීලයේ නාසරෙත් නම් නුවර මරියා නමැති ලස්සන තරුණියක් ජීවත් වූවා ය. මරියා ඉතා ම යහපත් කෙනෙකි. ඈ විවාහ වන්නට සිටියේ දාවිත් රජතුමාගේ පරපුරෙන් පැවත එන ජෝසෙප් සමග ය.

දිනක්, දෙවියන් වහන්සේ ගාබ්‍රියෙල් දේව දූතයා මරිය තුමිය ළඟට යැවූ සේක.

මරිය තුමිය කොපමණ යහපත් කාන්තාවක් ද? අප හැම දෙනාගේ ම ජීවිතවලට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබේ. එලෙස ම මරිය තුමිය ද දෙවියන් වහන්සේ විසින් ජේසු බිලිඳාගේ මව වීමට තෝරා පත්කර ගන්නා ලද්දී ය. ඒ දේව කැමැත්ත ඉටු වීමයි.

මරිය තුමිය ගාබ්‍රියෙල් දේව දූතයාගේ පණිවිඩය ඇසූ සැණෙකින් ඇගේ සිත කැළඹෙන්නට විය. නමුත් ඈ දේව අණට කීකරු වී දේව කැමැත්තට අවනත වූවා ය.

මරිය තුමිය තම ජීවිතය සම්පූර්ණයෙන් ම දෙවියන් වහන්සේට භාර කළා ය. සතුටු සිතින් එම සුපුවත පිළිගෙන දේව කැමැත්තට ඉඩ දුන්නා ය.

මරිය තුමියට එය එතරම් පහසු කටයුත්තක් නොවී ය. මිනිසුන්ගෙන් ගැරහුම්, අපහාස, නින්දා විඳින්නට ඇයට සිදු වන්නට ඇත. එහෙත් ඒ සියල්ලට වඩා තම ජීවිතය දෙවියන් වහන්සේට මුළුමනින් ම භාර කළ මරිය තුමිය තම කැමැත්තට වඩා දේව කැමැත්ත ඉෂ්ට කිරීමට තරම් දිරිය කාන්තාවක් වූවා ය.

කටපාඩම් පදය
සිසුවෙකු මෙන්
එතුමන්ට සවන් දෙන පිණිස
මහෝත්තම දෙවි සමිඳාණෝ
හැම උදයක ම
මා තුළ උනන්දුවක්
ඇති කරවන සේක.
යෙසායා 50:4