මහල්ලකු, ලෙඩකු සහ මළමිනියක් යන පෙර නිමිති දැකීමෙන් සංවේගයට පත්ව සිටි සිදුහත් කුමරු පැවිදි උතුමකු දැකීමෙන් සතුටට පත් විය; තමන් ද පැවිදි විය යුතු යැයි කල්පනා කළේ ය. කුමරා උයන් සිරි නරඹමින් සිටිය දී රජ මැදුරෙන් පණිවිඩයක් රැගෙන දූතයෙක් පැමිණියේ ය. එම පණිවිඩයෙන් කියැවුණේ යසෝදරා දේවියට පුත් කුමරකු ලැබුණු බව ය.
මේ පුවත ඇසීමත් සමග “රාහුලයෙක් උපන්නා, බැඳීමක් ඇති වුණා” යනුවෙන් කුමරුගේ මුවින් පිට විය.
රාජ සේවකයා එම පුවත සුද්ධෝදන රජතුමාට දැන්වූවේ ය. ඒ අනුව රාහුල යන නම පුංචි පුත් කුමාරයාට තබන ලදි.
උයනේ සිටි සිදුහත් කුමරු රජ මාලිගාව බලා පිටත් විය. පැවිදිවීමේ ආශාව නිසා කුමරුගේ මුහුණ ඉතා පියකරුව පෙනුණි. මග දෙපස සිටි ජනයා සිදුහත් කුමරුගේ ප්රසන්න මුහුණ දැක සතුටු වූහ.
කුමරු දැක සතුටු වූ කිසාගෝතමිය මෙසේ ප්රකාශ කළා ය.
“නිබ්බුතා නූන සා මාතා
නිබ්බුතෝ නූන සෝ පිතා
නිබ්බුතා නූන සා නාරි
යස්සායං ඊදිසෝ පති”
මෙවන් පුතකු ලද මවක් මෙවන් පුතකු ලද පියෙක් මෙවන් සැමියකු ලද බිරිඳක් නිවුණා ම ය.
නිවීම යන වචනය ඇසීම නිසා ම කුමරුට පැවිදි වීමට තිබුණු ආශාව තවත් වැඩි විය. කිසාගෝතමියගේ වචනවලින් සතුටට පත් හෙතෙම තමන්ගේ ගෙල පැලඳි අගනා මුතුහර ඇයට තෑගි කළේ ය.
රජ මාලිගාවට පැමිණි සිදුහත් කුමරු එදා රාත්රියේ රාජකීය නැටුම් ශාලාවේ නාටිකාංගනාවන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් වෙන දා මෙන් නැරඹුවේ නැත. ඔහුට නින්ද ගියේ ය. කුමරු අවදි වන තුරු බලා සිටි නාටිකාංගනාවෝ ද ඒ ඒ තැන්වල ම නිඳන්නට වන්හ. මැදියම් රාත්රියේ දී සිදුහත් කුමරු අවදි විය; සුළු මොහොතකට පෙර සුරූපීව සිටි නාටිකාංගනාවන් විරූපී ඉරියවුවලින් තැන තැන වැටී නිඳන අයුරු දුටුවේ ය. ඒ මොහොතේ ම ගිහි ගෙය අතහැර යෑමට තීරණය කළ කුමරු, ඡන්න අමතා කන්ථක අසු සූදානම් කරන ලෙස නියම කළේ ය.
සිදුහත් කුමරු යහන් ගැබට ගොස් යසෝදරා දේවියගේ තුරුලෙහි නිදන රාහුල කුමරු දෙස බැලූවේ ය; තම පුතු වඩා ගැනීමට සිත් වුවත් දේවිය හා පුතු අවදි වුවහොත් ගමනට බාධාවක් වේ යැයි සිතුවේ ය. රජ සැප අතහැර දැමූ සිදුහත් කුමරු කන්ථක අසුපිට නැග ඡන්න ඇමැති සමගින් මාලිගාවෙන් පිටත් වුණේ ය. එය කුමරුගේ ගිහිගෙය හැර යෑමයි. මෙය මහාභිනිෂ්ක්රමණය ලෙස හැඳින්වෙයි. කුමරු එසේ කළේ සියලූ සත්ත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ අධිෂ්ඨානයෙන් යුක්තවයි.