5 - බුදුසමිඳුගේ පිහිට ලැබූ පූතිගත්ත තිස්ස තෙරිඳු

1. ඇසුමෙන් බුදු බණ වරක්
සැවැත් නුවර විසුව එක්
තිස්ස නැමැති කුල පුතෙක්
පැවිදි බිමට වුණා එක්

2. මෙහෙම කලක් ගත වුණා
ඇඟේ බිබිලි මතු වුණා
සැරව පිරී කුණු වුණා
දුගඳ දසත පැතිරුණා

3. ඇඟ මස් දිය වී ගලා
ලේ සැරව ද පිටවෙලා
කුටියෙ දුගඳ වැඩිවෙලා
සසරේ දුක හෙළි කළා

4. පූතිගත්ත තිස්ස යැයි
අලූත් නමක් පට බැඳෙයි
ගඳ ඉවසනු නොහැකි යැයි
කිසිදු කෙනෙක් නොසලකයි

5. සිත ගත දෙක පෑරුණ
තිස්ස තෙරුන් අසරණ
කැත කුණු මැද වැතිරුණ
අයුරු නොදිටි අය වෙන

6. සම්මා සම්බුදු පියා
තිස්ස තෙරුන් වෙත ගියා
කය නාවා බණ කියා
පෑවා කරුණා දයා

7. බුදු සමිඳුගෙ උවටැනින්
කය සුවපත් විය සැණින්
දෙසු සදහම් දම් පැනින්
සිත සුවපත් විය සැණින්

8. බුදු කරුණා යොමු වුණා
සසරේ දුක නැති වුණා
සියලූ කෙලෙස් දුරු වුණා
නිවන් සුවෙන් සැනසුණා