“දුවේ පුතේ, මං අද අපේ සිත පිරිසිදු කරගන්න හැටි ඔයගොල්ලන්ට කියලා දෙන්නම්,” ගුරුතුමී කීවා ය.
“අපිරිසිදු වූ අපේ ඇඳුම් පැලඳුම් මෙන් ම අපේ ශරීරයත් වතුරින් හෝදලා පිරිසිදු කරගන්න පුළුවන්.
“ඒත් අපේ සිත අපිරිසිදු වුණා ම ඒක වතුරින් හෝදලා පිරිසිදු කරන්න බැහැ. තරහ, වෛරය වැනි දේ ඇති වුණා ම සිත අපිරිසිදු වෙනවා. සිත අපිරිසිදු වුණා ම අපි කියන්නේ නරක වචන, කරන්නේ නරක වැඩ, පාඩම් කරන දේවල් මතක තියෙන්නෙත් නැහැ.
“සිත පිරිසිදු වුණා ම පාඩම් කරන්න පුළුවන්, පාඩම් කරන දේ හොඳින් මතක තියෙනවා. කථා කරන්නේ හොඳ වචනමයි, කරන හැම වැඩකින් ම තමන්ටත් අනුන්ටත් යහපතක් ම සිදුවෙනවා.
“සිත පිරිසිදු කරගන්න නම් භාවනා කරන්න ඕනේ. අපි තුනේ පන්තියේ දී භාවනා කළා පුතාලට මතක ද? අද අපි තව දුරටත් භාවනා කරන්න පුරුදු වෙමු. අපි බුද්ධ මන්දිරයට යමු.
“ගැහැනු දරුවන් අර්ධ පර්යංකයෙන් ද පිරිමි දරුවන් බද්ධ පර්යංකයෙන් ද වාඩි වෙන්න. අනිත් අයගේ ඇඟේ ගෑවෙන්නේ නැති විදිහට වාඩි වෙන්න. දැන් අපි මෛත්රී භාවනාව වඩන්නයි සූදානම් වන්නේ, මෛත්රිය කියන්නේ මිතුරුකමයි. මේ වතාවේ දී අපි තමන්ගෙන් පටන් ගෙන තම සමීපතමයන්ට මෙන් ම දුරස්ව සිටින අයටත් මෛත්රිය පතුරවන්න පුරුදු කරමු.
“දැන් හැමෝ ම තමාගේ දොහොත් මුදුනේ තියාගන්න.
තුන් වතාවක් නමස්කාරය කියන්න.
සාධු! සාධු! සාධු!
සිරුර කෙළින් තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තබා ගන්න.
මෙසේ කියන්න.
මගේ සිත පිරිසිදු ය පිරිසිදු ය පිරිසිදු ය
මගේ සිත සන්සුන් ය සන්සුන් ය සන්සුන් ය
මගේ සිත තැන්පත් ය තැන්පත් ය තැන්පත් ය
මගේ සිත පිරිසිදු ය සන්සුන් ය තැන්පත් ය
මම නිදුක් වෙම්වා!
නීරෝගී වෙම්වා!
සුවපත් වෙම්වා! සුවපත් වෙම්වා! සුවපත් වෙම්වා
මා මෙන් ම මාගේ දෙමාපියෝ ද මාගේ වැඩිහිටියෝ ද
මාගේ හිතවන්තයෝ ද මාගේ අහිතවන්තයෝ ද
මේ ගමේ වසන්නා වූ ද, මේ නගරයේ වසන්නා වූ ද,
සියලූ සත්ත්වයෝ,
නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!
වෛර නැත්තෝ වෙත්වා! තරහ නැත්තෝ වෙත්වා! නපුරු අදහස්
නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා!
සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා! සුවපත් වෙත්වා!
සාධු! සාධු! සාධු!