අත්තම්මාත්, සීයාත් එනවා දුටු කසුන් මිදුලට දුවගෙන ගියා; ගේට්ටුව ඇරියා.
දැන් නිවාඩු කාලේ නේද පුතේ?” සීයා ඇහුවා.
ඔව් සීයේ, මාසයක් ම නිවාඩු,” කසුන් කිවුවා.
කසුන් අත්තම්මාගේ අතේ තිබුණු බෑගය ඉල්ලා ගත්තා. කවුරුත් ගෙට ගියා. සීයා තම අතේ තිබුණු අනෙක් බඩුමුට්ටු මේසය උඩ තිබ්බා.
සීයයි, අත්තම්මයි සාලේ වාඩි වුණා. සාලේ තිබුණු පිළිවෙළ ගැන සතුටු වුණු අත්තම්මා කසුන්ගෙන් මෙසේ ඇසුවා: "කසුන් පුතේ,ඔයාලා කොහොම ද මේ තරම් පිළිවෙළට ගෙදර තියාගන්නේ?"
"අත්තම්මේ, අපේ අම්මයි තාත්තයි අපට කියලා දීලා තියෙන්නේ, අපි යම් දෙයක් අරන් වැඩක් කළාට පස්සෙ ඒක ගත්ත තැනින් ම ආපසු තියන්න කියලා. මමයි, මල්ලියි, නංගියි
තුන් දෙනා ම ඒ විදියට ම වැඩ කරනවා. එක් කෙනකුට අමතක වුනොත් දැක්ක කෙනා අරන් තියනවා. අපි අතර බේදයක් නෑ."
"කොයි තරම් හොඳයි ද? හොඳ ළමයි තුන් දෙනෙක් ඔයාලා."
"අත්තම්මා බලන්නකෝ අපේ කාමරේ ලස්සන," නංගී අත්තම්මාගේ අතින් අල්ලාගෙන කාමරේට ගියා.
ඔවුන්ගේ පොත් වෙන වෙන ම පිළිවෙළට පොත් රාක්කයේ අසුරා තිබුණා. ඒ වාගේ ම ඔවුන්ගේ ඇඳුම්, ඇඳුම් රඳවනයේ එල්ලා තිබුණා. ඇඳන් මත හෝ බිම හෝ කිසි ම ඇඳුමක් අමතක වීමකින්වත් දමා තිබුණේ නෑ. සීයාත් ඔවුන්ගේ කාමරේට ආවා.
"මම ගේ හැම තැන ම ඇවිද්දා. හරි ම ලස්සනයි. කොහේවත් එක කොළ කෑල්ලක්වත් වැටිලා නෑ." යි සීයා කීවා.
"ඔව් සීයේ අපි තුන්දෙනා ම සමගියෙන් ගෙදර පිරිසිදුවට තියාගන්න පුරුදු වෙලා ඉන්නෙ. බිම කඩදාසියක් වැටිලා තිබුණොත් අපි ඒක අහුලලා අයින් කරනවා."
"අපි අද ඉස්කෝලේ ගිහින් ඇවිත් ඇඳගෙන ගිය ඇඳුම් ගලවලා රෙදි වැලේ වැනුවා. දහඩිය වේළෙන්න වැලට ඇඳුම් දාන්න කියලා අම්මා අපට කියාදීලා තියෙනවා," නංගී කිවුවා.
"සීයා දන්නවා ද? අපි සෙනසුරාදා, ඉරිදා, නිවාඩු දවස්වලට අම්මාත් තාත්තාත් එක්ක එකතුවෙලා මුළු ගෙදරමත්, මල් පාත්තිත්, මිදුලත් පිරිසිදු කරනවා. මල් පැළවලට පොහොර, වතුර දානවා. වෙන කවුරුවත් කරයි කියලා බලන් ඉන්නේ නෑ" යි කසුන් කීවා.
"ඇයි, තාත්තාගේ එළවළු කොටුව? අපි එළවළු කොටුවේ එළවළු පැළවලටත් වතුර, පොහොර දානවා. මම තමයි හැම දා ම හවසට එළවළු පැළවලට වතුර දාන්නෙ," මල්ලී සතුටෙන් කීවා.
"සීයේ මමයි අයියයි මල් පැළවලට වතුර දානවා දවසක් ඇර දවසක්. ඒ කියන්නේ අද මම නම් හෙට අයියා, අයියට අසනීපයක් හැදුණොත් ඒ දිනයටත් මම වතුර දානවා" නංගිත් කිවුවා.
"හොද ළමයි, ඔය විදියට ගෙදර හැමෝම සමගියෙන් වැඩ කළොත් තමා ඔයාලට දියුණු වෙන්න පුළුවන්."
ලීලාවතී නැන්දා සීයාටයි අත්තම්මාටයි තේ හදාගෙන ආවා. "ලොකු මහත්තයයි, ලොකු නෝනයි තේ ටිකක් බීලා ඉන්න.මහන්සිත් ඇතිනේ."
"ලීලාවතී ගෙවල් මිදුල් අතුගාලා පිළිවෙළට තියාගන්නවානේද?" සීයා ඇසුවා.
"අනේ නෑ ලොකු මහත්තයා, මේ දරුවො තුන්දෙනා මට ඒවාකරන්න ඉඩ දෙන්නෙ ම නෑ. එයාලා එකතු වෙලා හැමදාම ගේ මිදුල අතුගාලා පිළිවෙළට තියා ගන්නවා. මට තියෙන්නෙ කුස්සිය පිළිවෙළට තියාගන්න එක විතරයි."
"බොහොම හොඳයි දරුවනේ, ඔයාලා දන්නවා ද වේයා කියන පුංචි සතා? එයා පොඩි වුණාට හැම දෙනා ම එකට එකතුෙවෙලා සමගියෙන් වැඩ කරනවා. හැමෝම එකතු වෙලා පොඩි පොඩි මැටි ගුළි ගෙනත් ලොකු තුඹසක් හදනවා. ඒක ඇතුළේ තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ තුඹස අපට අතින් කඩන්නවත් බැරි තරම් ශක්තිමත්."
"ඔව් සීයේ අපේ වත්ත කෙළවරේ තියෙනවා ලොකු තුඹසක්,"මල්ලී කීවා.
"බලන්නකෝ පොඩි වුණත් වේයා සමගියෙන් හදන තුඹසේ ශක්තිමත්කම, ඒ වගේමයි ඔයාලාත් මේ විදියට සමගියෙන් ඉන්නකොට කාටවත් බෑ ඔයාලට කරදර හිරිහැර කරන්න."
"ඔව් සීයේ, අපි තුන්දෙනා කිසි ම දෙයකට තරහ වෙන්නේ නෑ, රණ්ඩු වෙන්නෙත් නෑ. පාසලෙන් දෙන ගෙදර වැඩ නංගිටයි මල්ලිටයි මම කියා දෙනවා. අපි අම්මට තාත්තටත් පුළුවන් විදියට උදවු කරනවා."
වැඩට ගිය අම්මාත් තාත්තාත් සවස නිවසට එන විට හැමදෙනාම මිදුලට ගියා.
"අම්මේ අත්තම්මයි සීයයි ආවා," නංගී කීවා.
"අම්මලා ඇවිල්ලා ගොඩක් වෙලා ද?" අම්මා අත්තම්මාගෙන් ඇසුවා.
"නෑ දුවේ, දැන් ටිකක් වෙලා. අපි මේ ගෙදර පිළිවෙළට තියාගන්න හැටි ළමයි එක්ක කතා කර කර හිටියේ," අත්තම්මා කීවා.
"අපේ මේ දරුවෝ තුන්දෙනා අපට ගොඩක් උදවු කරනවා අම්මේ, හවසට ගෙදර ඇවිත් අපට කරන්න තියෙන වැඩ ගොඩක් අඩුයි." අම්මා කිවුවා.
"අද අපි ඔක්කොම එකතු වෙලා අත්තම්මටයි, සීයටයි හොඳ රසවත් කෑම වේලක් හදමු නේද?" අම්මා දරුවන්ගෙන් ඇසුවා.
"ඔය විදියට හැම දෙනා ම හැම දා ම සතුටින්, සමගියෙන් වැඩ කරන්න. ඔයාලා වාසනාවන්ත පවුලක්." අත්තම්මා සතුටින් කීවේ නංගිත් මල්ලිත් මාත් තුරුල් කර ගනිමිනි.