පොතේ ගුරු :- වනන්තරේ ඈත එපිට
නෙලූම් පිපුණ විලක් ඇතී
නිල් වතුරෙන් පිරුණු කලට
වන සිවුපාවෝ ඇදෙතී
ගැඹුරු විලේ මඩ වගුරේ
පා එරිලා හඬ නගතී
ගොඩ එන්නට බැරිව දුකින්
සිවුපාවෝ කල් ගෙවතී
බමරා :- මැඩි නයිදෙ නැගිටින්න
ඉබි නයිදෙ නැගිටින්න
පුංචි පුතා ඊයෙ ගෙදර
නොපැමිණි හින්දා
ඇතින්නි මුළු රෑ තිස්සේ
අඬ අඬ හිටියා
දුක හිතිලා මම මේ
පියඹා ගෙන ආවා
මොකද වුණේ මැඩි නයිදේ
කියන්න පහදා
මැඩි නයිදේ :- ඉවුරේ සෙල්ලම් කර කර
හිටි ඇත් පැටියා
නෙලූම් මලක් කඩා ගන්න
වතුරට බැස්සා
ඉබි නයිදේ :- හුරතලාගෙ පුංචි කකුල්
යටට ම එරුණා
ගොඩට එන්න බෑ මුළු රෑ
වතුරෙ ම ගෙවුණා
මැඩි නයිදේ ඉබි නයිදේ :- මොනව කරන්න ද බමරෝ
පොඩි අපි දෙන්නා
අපිත් ඉතින් දුකින්
හුරතලා ළඟ උන්නා
බමරා :- පුංචි උණත් - පුංචි අපට
හිතන්න බැරි ද?
මේ වෙලාවෙ
කිසිත් නොකර ඉඳීම හරි ද?
මැඩි නයිදේ :- බමරො ඉතින් පමා නොවී
යන්න පියඹලා
කියන්න මෙහි ඉන්නා බව
පුංචි හුරතලා
ඉබි නයිදේ :- ඇතින්නි මේ ගැන අහලා
කලබල වේවී
එක පාරට දුවගෙන විත්
විලට පනීවී
මැඩි නයිදේ :- මඩ වගුරේ ඇතින්නිගෙත්
කකුල එරේවී
ගොඩට එන්න බෑ
ඇස්වල කඳුළු පිරේවී
බමරා :- එහෙම නොවෙයි ඉබි නයිදේ
එහෙම නොවෙයි මැඩි නයිදේ
ටිකක් හිතන්න
ඉක්මන් වෙන්නට නරකයි
කලබල වෙන්නට නරකයි
වැඩක් කරන්න
පොතේ ගුරු :- මිතුරන් තුන්දෙන
කසු කුසු ගාමින
කතා බහක් වූවයි
පුංචි පුංචි මොළ
තුන එක් වූ තැන
ලොකු අදහස ආවයි
බමරා සතුටින්
කොහෙදෝ යන බව
රූං කියා කීවයි
විල ළඟ දෙණියේ
ජය සක පිඹ
වලි කුකුළෙක් හැඬලුවයි
ගායක පිරිස :- බමරා ගොස් ඇතින්නියට
තොරතුරු කීවා
ඇය කැලයෙන්
වැලක් කඩන්
එතැනට ආවා
ඉබි නයිදේ වෙහෙස වෙලා
වතුරට බැහැලා
පහුරු ගගා වතුර බහින
කානුව කැපුවා
ඇතින්නි හොඬවැල කොනකින්
වැල් පට ගත්තා
වැලේ අනික් කෙළවර
මැඩි නයිදෙට දුන්නා
පොතේ ගුරු :- වැල්පට ගෙන අතින්
මැඩි නයිදේ හෙමින්
ඇත් පැටියා ළඟටයි යන්නේ
ඇත් පැටියා හොඬෙන්
වැල අල්ලා තදින්
දෙපා බුරුල් කරමින් උන්නේ
ඇතින්නි දුර ඉඳන්
වැලෙන් අදී හෙමින්
පුංචි පුතා දැන් ළඟ එන්නේ
දෙපා මිදී මඩෙන්
හිනා වෙවී හොරෙන්
හුරතලා විලෙන්
ගොඩවෙන්නේ
ගායක පිරිස :- මල් පෙතිවල
කම්මුල් මත
හිරු රැස් වැටුණා
ටිකිරි සිනා
රේණු සලා
ඒ මල් පිපුණා
පුංචි යාළුවන්
ඔක්කොම
රංචුව සැදුණා
සන්තෝසෙන්
සින්දු කියා
නැටුමක යෙදුණා