සිහිනයක ජීවත් වූ පුංචි දැරියක් සිටියා ය. ඇයගේ අම්මා, තාත්තා, ආත්තම්මා, ලොකු අම්මා වගේ පවුලේ ම අය ඒ සිහිනවල ජීවත් වූහ. ඒ වගේ ම ගමේ අසල්වැසි වැඩිහිටියෝ සහ නෑ හිතමිතුරෝ ද, ගමට ආ ගිය අය ද ඒ අතර වූහ. එපමණක් නොව, ඇය ජීවත් වූ පරිසරයේ පණ ඇති, පණ නැතිහැම දේ ම පාහේ ඇයට ලස්සන සිහිනයක් ම විය. සැබෑ ලෝකයේ අසන දකින බොහෝ දේ ඇය සිහිනයක් සේ මතකයේ තබාගත්තා ය. මේ සිහින අප නින්දේ දී දකින සිහින නම් නො වේ.
ඇගේ ගම ගිංතොට ය. එය ගාලූ පුරවරයට ඉතා ම කිට්ටු සුන්දර ගම්මානයකි. මල්, පලතුරු, ගහකොළවලින් පිරුණු නිතර ම සිහිල් සුළඟ හමන මේ ගම ගැන අපූරු මතක සටහන් ඇයගේ සිහින වල තිබිණි. හිමිදිරියේ ම අවදි වී ගේ අවට සිරියාව අත් විඳිමින් මේ පුංචිදැරිය ඒ අමුතු ම සිහින සිතින් මවා ගත්තා ය.
"වත්ත කෙළවරේ උස් තැනක පිහිටා තිබුණු පොල් මුල උඩයි, මගේ රාජධානිය. එතැනයි මගේ මාලිගාව, දිව්ය ලෝකය, වනය, සිරීපාද කන්ද, පාසල, නෑ ගෙදර, මඟුල් ගෙදර. ඕනෑ තරම් හීනමවන්න මට පුළුවන් වුණ තැනක් තමයි ඒ පොල් මුල."
ඇය ළමා කාලයේ ඇයගේ මතකය කියා පෑවේ එලෙස ය. ගමේ ගුරුපාර, අඩි පාර, වෙල් නියර දිගේ ගොස්, ඇළ හරහා ලී පාලමෙන් පැන අම්මාත් සමග පන්සල් ගිය හැටි ඇයට මතක ය. ආත්තම්මා සමග නිදහසේ ගම්ගොඩේ ඇවිද ගිය ළමා කාලය ඇයට ඉතා සොඳුරු සිහිනයක් ම විය. ලොකු අම්මා (තාත්තාගේ ලොකු අයියාගේ බිරිඳ) ඇගේ මේ අහිංසක සිහිනවල සිටි අපූරුතම වීරවරියයි.
"වැස්ස නැති හැමදාක ම ලොකු අම්මා පොල් ලෙලි තැළීමට ගියා. තළන ලද ලෙලි, කොහු වුණාට පසු ලොකු අම්මා ඒවා ගෙනැවිත් මිදුලේ දමා වේළා ගත්තා. වේළුණු කොහු නෙළීමෙන් ඈ හදා ගත්තේ මිදුල මැද රන්වන් කොහු වලාකුළක්. ඒ වලාකුළේ මා පෙරළිපෙරළි සෙල්ලම් කළේ පූසි පැටවකු මෙන් නිදහසේ. වෙලාවකට මට හිතුණා ඒ රන්වන් කොහු, යෝධ සීයා කෙනෙකුගේ රැවුළක්දෝ කියලා."
ලොකු අම්මා සමග පන් නෙළන්න වෙලට ගිය සැටිත්, ලොකු අම්මා සායම් පොවා පන් පැදුරු වියන ආකාරයත් ඇයට මතක ය.
"පැදුරු වියන ලොකු අම්මා ළඟ මා නිකම් වාඩි වෙලා හිටියේ නෑ. ඇය කී අපූරු ගැමි කතාවලට කන් දුන්නා. ඒවායේ චමත්කාරය මගේ හිතේ, ගලේ කෙටූ අකුර වගේ කවරදාවත් නොමැකෙන්න ඇඳිලා. කොහොම වුණත් පැදුරක් වියලා ඉවර වෙන අතරතුරේ පුංචි මගේ හිත පුදුම සිහින ලෝකෙක සැඟවිලා. ඒ තුළිනුයි මගේ මුළු ජීවිතයට ම බලපාන ලෙස නිර්මාණශීලී අඩිතාලමක් වැටුණේ."
"මගේ කලා ජීවිතයේ මුල් ගුරුතුමී හැටියටයි, මගේ අහිංසක ලොකු අම්මා මා කවරදාත් සිහිපත් කරන්නේ."
මේ පුංචි දැරිය ඇගේ ප්රියතම වැඩිහිටි නෑදෑයා ගැන පසු කලෙක එසේ කීවා ය.
සිංහල අලූත් අවුරුද්ද ළං වූ දවසක ගෙදර තවත් අමුතු ම දෙයක් සිදු විය. මිදුලේ වැල්ලේ කෝටුවකින් පමණක් ම පින්තූර අඳින්න පුරුදු වී සිටි මේ සිඟිත්තිය එදින නිදහසේ චිත්රයක් ඇන්දා ය. ඒ අලූත් අවුරුද්දට ළා කොළ පාටින් සායම් කළ ගෙයි මැද සාලයේ බිත්තියේ ය.
අඟරු කෑල්ලකින් ඇන්ද ඒ චිත්රය මුලින් ම දුටුවේ තාත්තා ය. දෝතින් ම ඇය වඩා ගත් තාත්තා ඇගේ දස්කම අගය කළේ ය. එදා පටන් ඇය තමාගේ සිහින විවිධාකාරයෙන් සිතුවමට නැගුවා ය. ඒ පාට පාට සිතුවම්වලට ගැළපෙන කතන්දර ගොතන්නට ඇයට හැකි වූයේ ඇගේ ඒ සිහින ද තවත් අලූත් වූ නිසා ය.
‘සිබිල් නැන්දා’ හෙවත් සිබිල් වෙත්තසිංහ මැතිනිය එදා ඒ සිහින දුටු කුඩා දැරියයි. වයස අවුරුදු හයේ දී ඇයට ගමෙන් නගරයට එන්නට සිදු විය. එහි දී ද ඇය ඒ ගමේ මතකයේ ම ජීවත් වූවා ය. කුඩා කාලයේ ගමේ දී දුටු බලි තොවිල්, ජන ක්රිඩාව, විශේෂ උත්සව, සිදුවීම් හා චරිත සියල්ල ඇය තවත් අපූරුවට සිතින් මවා ගත්තා ය. ඇය ඒ සිහිනවල ම ජීවත් වූවා ය.
වයස අවුරුදු අනූව ඉක්මවා සිටිය දී ද ඇය ඒ සිහින ලෝකයේ ම ජීවත් වූ දැරියගේ අද්දැකීම් අපට කියන්නී ය. ඇය ලියූ කුඩ හොරා අන්තර්ජාතික සම්මාන රැසක් දිනා ගත් ළමා සාහිත්ය කෘතියකි. ජපානයේ දී එය හොඳ ම ළමා කතාව ලෙස තෝරා ගැනිණි. ඇයලියූ දුවන රැවුළ, වෙසක් පහන, උඩ ගිය බබා, පුලූන් බබා, කැවුම් යෝධයා, කිරිහාමි, මැටි ගෙදර ළමයි, සූත්තර පුංචා, රතු කාර්පොඩ්ඩා ආදි පොත් රැසකි. මේ සියලූ කෘති ඇය සිංහලෙන් මෙන්ම ඉංග්රීසියෙන් ද ලියා පළ කර තිබේ. බුද්ධ චරිතය සිතුවමට නගාඇති සිද්ධාර්ථ ගෞතම පොතේ මෙන් ම රිදී ගහේ කතාව පොතේ ඇගේ චිත්ර ශෛලියේ විශේෂත්වයක් දැකිය හැකි ය. බයිබලයේ එනකතා ද අපූරුවට සිතුවම් කළ සිබිල් නැන්දා ළමා තරුණ වැඩිහිටි කොයි කාගේත් ආදරය දිනා ගත්තා ය. එතුමිය අපේ රටට විශාල කීර්තියක් අත්පත් කර දුන් ලේඛිකාවකි. එතුමියගේ චිත්ර දකින අපට දැනෙන සතුට ඇගේ ළමා වියේ සිහින පමණට ම අගනේ ය.
"මා තුළ ඉන්නේ
චරිත දෙකක්
සුරලොව දකිනා
පොඩි ළමයෙක්
ආදරෙ හඳුනන
වැඩිහිටියෙක්
දෙන්නා එක් වී
රස විඳිමින්
මතු කර දෙන්නේ
සිහින ලොවක්”
සිබිල් නැන්දා අදටත් ඒ සිහින ලෝකය වෙත අප ගෙන යන්නී ය. ඒ සිහින නිසා ම අපි ඇයගේ පොත් කියවා රස විඳිමු. ඇය අතින් නිමැවුණු සිතුවම් බලා අපි ඒ සිහින ලෝකවල සැරිසරමු.
(සිබිල් වෙත්තසිංහගේ වැනියං කළු වැනීයං කෘතිය ඇසුරෙනි.)