20 - යහපත් මිතුරෝ

අම්නා, නන්දනී, ආකිෆා යන අය ආමිරාගේ ගජ මිතුරෝ ය. කුමාර් අර්කම් උබෛද් යන අය ආතිෆ්ගේ වෙන් කළ නොහැකි ගජ මිතුරෝ ය. මිත්‍රත්වයෙන් බැඳි හිතවත් වූ අය මිතුරෝ වෙති. ඔවුහු එක් සිත්ව, එකමුතුව සිටිති. සැම අවස්ථාවක දී ම ඔවුහු එකිනෙකාට උදවු කර ගනිති. යහපත් ක්‍රියාවල දී සහාය වෙති. කෙනෙක් අනෙකා අයහපතින් රැක ගනියි.

නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාණෝ හා අබු බක්ර් රලියල්ලාහු අන්හුතුමා ගජ මිතුරෝ යග මේ දෙදෙනා 'සාදික්' හා 'සිද්දීක්' යන නම් වලින් අමතනු ලැබු අතර නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමා කුඩා කාලයේ පටන් ම ඇත්ත කතා කරන්නකු ලෙස ප්‍රකටව සිටි නිසා එතුමාට 'සාදික්' යන නම හිමි වියග 'සිද්දීක්' යනු ඉස්ලාම් ධර්ම ප්‍රචාරයේ මුල් අවස්ථාවේ දී එය පිළිගත්, අබු බක්ර් රලියල්ලාහු අන්හුතුමාගේ ගෞරව නාමයයි. එහි තේරුම 'සැබෑ කළ තැනැත්තා' වේ.

නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමාණන්ගේ තරුණ කාලයේ මක්කාවේ ඛේදවාචකයක් සිදු විය. එනම් මක්කා වැසියකු මහින් පිටස්තර පුද්ගලයකු රැවටීමට ලක් විය. ඔහු තම දුක්ඛිත තත්ත්වය ප්‍රකාශ කළ විට මක්කාවේ සිටි ප්‍රධානීහු අබ්දුල්ලාහ් ඉබ්නු ජුද්ආන් නම් තැනැත්තාගේ නිවසෙහි එක්රැස් වූවෝ ය. එවිට නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමා ද අබූ බක්ර් රලියල්ලාහු අන්හුතුමා ද තම තමන්ගේ භාරකරුවන් සමග ගොස් සිටියහ. ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇති වූයේ එවිට ය. යහපත් කටයුත්තක නිරත වූ එම මිත්‍රත්වය අබණ්ඩව පැවතිණි. මිත්‍රත්වයට කදිම නිදසුනක් ලෙස ඔවුන් දෙදෙනා ගත හැකි ය.

ඔවුන්ගේ තරුණ කාලයේ මිත්‍රත්වයේ උච්චතම අවස්ථාව ලෙස නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාට (නුබුව්වත්) ලැබූ කාලය පවතී. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාණෝ නව ධර්මය දේශනා කළ අවස්ථාවේ දී ඉස්ලාමය පිළිගත් ප්‍රථම තැනැත්තා මෙතුමා වූයේ ය. එතුමා එහි දී විසි වසරක මිත්‍රත්වයේ බැඳීම හා එහි ඇති ප්‍රයෝජනය හෙළි කළේ ය. ඔහු තම මිතුරාට ශ්‍රමයෙන් ද මුදලින් ද කැපකිරීම් කළේ ය. තම ජීවිතය නැති වී යා හැකි අවස්ථාවේ දී පවා දෙදෙනා ම සවුර් ගුහාවේ එකට එක්ව බැඳී සිටියහ.

 

මිතුරන් යහපත් මිතුරන් හා අයහපත් ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැක. නබි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමා යහපත් මිතුරන්ට සුවඳ විලවුන් වෙළෙන්දා ද අයහපත් මිතුරන්ට කම්මලට ගොස් නැවත හැරී එන තැනැත්තා ද උපමා කර පැහැදිලි කළේ ය. සුවඳ විලවුන් වෙළෙන්දාගෙන් භාණ්ඩ මිල දී නොගත්ත ද ඔහුගේ සුවඳ අත් විඳිය හැක. එහෙත් කම්මලට ගිය තැනැත්තා තම ගන්ධය අන් අයට භුක්ති විඳීමට සලස්වයි. මෙලෙස යහපත් මිතුරා සමග ජීවත් වන්නා යහපත් කෙනෙකු ලෙස ද අයහපත් මිතුරා සමග ජීවත් වන්නා අයහපත් කෙනෙකු ලෙස ද සැලකීය. "නුඹ නුඹගේ මිතුරා ගැන පවසන්නග මම නුඹ ගැන පවසමි" යැයි පඬිවරයකු පවසා ඇත්තේ එබැවින් ය.

ලොව සන්සුන්ව ද සමාජය යහපත්ව ද පවුල් ආදර්ශවත්ව ද පැවතිය යුතු නම් යහපත් මිතුරන්ගේ ඇසුර වැඩි කර ගත යුතු ය. අයහපත් මිතුරන්ගේ ඇසුර නැති කර ගත යුතු ය.

කෙනෙකු සමග මිත්‍ර විය යුතු නම් ඔහුගේ ගතිගුණ, චරිතය, වයස, ස්වභාවය, ඇසුර පිළිබඳව හොඳින් සිතා බලා හෝ එසේ නැතිනම් දෙමව්පියන් ගුරුවරුන් වැනි අයගෙන් උපදෙස් ලබා හෝ තීරණය කළ යුතු ය. කිසිදු කෙනෙකු හදිසියේ ම සුළු අවශ්‍යතාවලට මිතුරන් කර නොගත යුතු ය. ඇසුර යනු හදිසියේ ඇති වන්නක් නොවේ. එය ක්‍රමයෙන් ඇසුරු කිරීමෙන් කාලයත් සමග ඇති වන්නකි.

මලක් සමග සිටින විට අප ද සුවඳවත් වන්නා සේ යහපත් මිතුරන් සමග එකතු වූ විට අපද සුවඳවත් වනු ඇත.

එබැවින් අප හොඳ මිතුරන් සොයා ගත යුතු ය. අයහපත් අයගේ මිතුදමින් වැළකිය යුතු ය.