පන්ති කාල සටහනේ විවේක කාලයෙන් පසු කාලපරිච්ඡේදය වෙන්ව තිබුණේ බුද්ධ ධර්මය විෂයයටයි. ගුරුතුමිය පන්තියට පැමිණියා ය. පන්තියේ සිසුහු සියලූ දෙනා ම නැඟිට "තෙරුවන් සරණයි!” කියා ගුරුතුමියට ආචාර කළහ. ගුරුතුමිය ද "තෙරුවන් සරණයි!” කියා සිසුනට ආශීර්වාද කළා ය.
"දරුවනේ, අද පාඩමට හැමෝ ම හොඳින් අවධානය යොමු කරන්න ඕනෑ. අපි අද ඉගෙන ගන්නේ බොදු වදන් කිහිපයක් ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙම බොදු වදන් අපේ ජීවිතවලට හරි ම ප්රයෝජනවත් වෙනවා.”
"අපදාන සෝභිනි පඤ්ඤා” මෙහි තේරුම, "උගත්කම චරිතයෙන් බබළයි” යන්නයි. දැනුම හෙවත් නුවණ මිනිසකුට අවශ්ය උසස් ම වස්තුව වේ.
සෑම සතෙක් අතරින් ම මිනිසා උසස් වන්නේ ප්රඥාව නිසා ය. මිනිසා නුවණින් හීන වේ ද එවිට ඔහු තිරිසනකුට සමාන වේ. චිම්පන්සියා, ගෝරිල්ලා, ඔරංඔටං, අලියා, වඳුරා, රිලවා යන සත්තු යම් ප්රමාණයක නුවණක් ඇති සත්තු වෙති. එහෙත් මිනිසාට මෙන් උසස් බුද්ධියක් හෝ වැටහෙන නුවණක් හෝ ඔවුනට උරුම නොවේ. මිනිසාට ඇත්තේ දියුණු කළ හැකි නුවණකි. එම නිසා දරුවනේ, මිනිසාගේ උගත් කම ඔහුගේ හැසිරීමෙන් හා චරිතයෙන් බබළන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
දරුවනේ, තවත් බොදු වදනක් තමයි, "අක්කෝධෙන ජිනේ කෝධං” යන ප්රකාශය. එනම් ක්රෝධ කරන්නා අක්රෝධය හෙවත් ක්රෝධ නොකිරීමෙන් දිනාගත හැකි ය. ක්රෝධය, වෛරය, තරහව, පළිගැනීම, ජීවිතයේ විනාශයට හේතු වේ. මිනිසා පංච ඉන්ද්රියයන්ට ගොදුරු වන අරමුණු නිසා ක්රෝධ ඇති කර ගනී. තමන් අකැමැති දේ දැකීම, ඇසීම, විඳින්නට සිදු වීම ආදිය නිසා ක්රෝධය ඇති වේ.
ක්රෝධය නසන වටිනා ම ඔසුව නම් අක්රෝධය හෙවත් මෛත්රීයයි. මෛත්රීය තමන්ටත් අනුන්ටත් යහපතක් කරයි. මෛත්රීය නිසා සිත ශාන්ත වේ; ප්රසන්න වේ; සිතේ සැනසුම ඇති වේ. සිතේ ලෙඩ අඩු වන නිසා කය පැහැපත් වේ. මෛත්රී කරන පුද්ගලයා අන් අයට පි්රයමනාප වේ; ඔහු සුවසේ නිදයි; සුවසේ අවදි වෙයි. නරක නපුරු සිහින නොදකී. ක්රෝධ නොකිරීම සිතේ සැනසුමට හේතු වේ. සැනසුණු සිතේ මතක ශක්තිය වැඩේ. එය අප සැම දෙනාට ම ඉතා වැදගත් වේ.