3 - අල්ලාහ් මැවුම්කරුවාය

මිනිසුන් වන අප මැව්වේ කවු ද? අප ජීවත්වන මෙලොව මැව්වේ කවු ද? පොළොවේ ඇති සාගර, ගංගා, වනාන්තර, කඳු ආදිය මැව්වේ කවු ද? සතුන්, කුරුල්ලන්, මාළුන්, කෘමීන් ආදිය මැව්වේ කවු ද?

මේවා මූලික ප්‍රශ්න වන්නේ ය. එනිසා මෙම ප්‍රශ්න මිනිසුන් සියල්ලන්ගේ ම සිතෙහි පැන නැගින්නේ ය. මේවාට නිවැරදි පිළිතුරු අපි දැනගත යුතු ය.

අපි ඉගෙනුම ලබන පන්ති කාමරය, එහි තිබෙන පුටු, මේස ඉගැන්වීමේ උපකරණ ආදිය මෙහි ඉබේ ම ඇති වුණු ඒවා ද? සැබැවින් ම මෙම පාසල ද එහි ඇති පන්ති කාමර ද ඉදි කර ඇත්තේ ගොඩනැගිලි ඉදිකරන්නන් විසින් විය යුතුය.

මෙහි ඇති ලී බඩු වඩු බාස්වරුන් විසින් සාදා තිබිය යුතුය. පොත් පත් ලේඛකයන් ලියා මුද්‍රණය කළ ඒවා විය යුතුය.

මෙසේ නොව ඒවා ඉබේ පහළ වූ ඒවා වන්නේ කෙසේ ද? සැබැවින් ම එය විය නොහැකි දෙයකි.

පාන් සදන බේකරියක් සළකා බලමු. එහි තිරිඟු ඉබේ ම තිරිඟු පිටි බවට පත්වනවා ද? එම පිටි ගෝනි යන්ත්‍රවලට ඉබේම හැලෙනවා ද? යන්ත්‍ර ඉබේම ක්‍රියාත්මක වෙනවා, පාන් ඉබේ සෑදෙනෙවා කියා යමෙක් කිවහොත් ඔබ විශ්වාස කරනවා ද?

ඔබ නිවසේ කුස්සියේ තේ, බත්, මාළු වැනි දේ ඉබේ පිළියෙල වනවා ද? නැත්නම් දැනුම හා බුද්ධිය ඇති ඔබගේ මව ඒවා පිස ඔබ වෙත එවනවා ද? ඔබගේ කෑම මේසයට ආහාර ඉබේ පැමිණි බව ඔබගේ මව කීවත්, ඔබ විශ්වාස කරනවා ද? මෙම කටයුතු පියවරෙන් පියවර ක්‍රියාත්මක කිරීමට කෙනකු අවශ්‍යයි නේද?

මෙමගින් අපි වටහා ගන්නේ කුමක් ද? ඕනෑම මැවීමකට මැවුම්කරුවෙකු සිටිය යුතු ය. මැවුම්කරුවකු නොමැතිව කිසිදු මැවීමක් බිහි වන්නේ නැත. මෙවැනි ඕනෑම දෙයක් ක්‍රියා කිරීමට ක්‍රියාකරවන්නකු සිටිය යුතු ය.

එම ක්‍රියා කරවන්නා බුද්ධිමත් මෙන් ම ශක්තිය හා හැකියාව ඇති අයකු විය යුතු ය. දැන් පොළොව දෙස බලන්න. පුළුල් වූ සයුර දෙස බලන්න. උසින් ද ගාම්භීරව ද පෙනෙන කඳු දෙස බලන්න. අහසේ පුළුන් මෙන් පාවෙන වලා තීරයන් දෙස බලන්න. කැලෑවේ සැරිසරණ අලි, ඇතුන්, සිංහයන්, ව්‍යාඝ්‍රයන් දෙස බලන්න. කපුටන්, ගිරවුන්, උකුස්සන් වැනි අහසේ පියාඹන කුරුල්ලන් දෙස බලන්න.

බළලූන්, බල්ලන්, ගවයින් වැනි වත්තේ ගැවෙසෙන සුරතල් සතුන් දෙස බලන්න.

මේ සියල්ල ඇත්තෙන් ම දැනුමත් හැකියාවත් ඇති අයෙකු විසින් ම මවා තිබිය යුතු ය. එම මැවුම්කරුවා අල්ලාහ් ය.

මිනිසුන් වන අපව මෙන් ම අපගේ මුතුන් මිත්තන් යන සියල්ලන් ම මැව්වේ අල්ලාහ් ය. ප්‍රථම මිනිසා වන ආදම් අලයිහිස්සලාම් මැව්වේ අල්ලාහ් ය. ඔහුගේ ඉල ඇටයෙන් හව්වා අලයිහිස්සලාම් මැව්වේ ද අල්ලාහ් ය. ඔවුන් දෙදෙනාගෙන් අද දක්වාත්, මතුවටත් මිනිස් පරම්පරාවන් මවන්නේත් අල්ලාහ්ය. මිනිසා ඇතුළු අන් සියලූ ම මැවීම් මැව්වේ අල්ලාහ් යැයි අපි ස්ථීර ලෙස විශ්වාස කරමු.

අල්ලාහු හාලිකුනා අල්ලාහහු රාසිකුනා
අල්ලාහ් හාදීනා සුබ්හාන මව්ලානා

අප මැව්වාවූ අල්ලාහ්
අප කුස පිරවූ අල්ලාහ්
යහ මග පෙන්වන අල්ලාහ්
පරිශුද්ධ ස්වාමියා අල්ලාහ්