නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමාගේ මක්කා ජීවිතය
වහී ප්රදානය හා ප්‍රචාරය
මීට ඉහත පාඩමේ දී නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ උපත, තරුණ වියේ ආදර්ශයන් අධ්‍යයනය කළ අප මෙහි දී නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට වහී ප්රදානය වු ඉතිහාසයත් ප්රචාරයත් පිළිබඳ ව දැන ගනිමු.
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා තම 40 වන විය ආසන්න වත් ම තම සමාජයේ තත්ත්වය දැක දැඩි ලෙස කනගාටු විය. සමාජය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැඩි ලෙස සිතන්නට වූහ. හුදෙකලාව සිටීම ප්‍රිය කළ එතුමා ඒ සඳහා කඃබාවේ සිට සැ. 3ක දුරින් පිහිටි හිරා ගුහාවට ගියේ ය. එහි හුදෙකලාව සිට අල්ලාහ් පිළිබඳ සිතුවිල්ලෙහි හා භාවනාවෙහි නිරත විය.
මෙලෙස වසර 3ක් ගතවිය. නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ට යහපත් සිහින පෙනෙන්නට පටන් ගත්තේ ය. අනතුරු ව රමලානයේ එක් දිනක් රාත්‍රියේ හිරා ගුහාවේ සිටින විට ජිබ්රීල් අලෛහිස්සලාම් තුමා එතුමා ඉදිරියට පැමිණ. "ඉක්රඃ පාරායනය" කරනු යනුවෙන් පැවසීය.
පාරායනය කිරීමට තමන් නොදන්නා බව නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ පිළිතුරු දුන්හ. එවිට ජිබ්රීල් අලෛහිස්සලාම් තුමා තෙවතාවක් එතුමා ව වැළඳ ගෙන පාරායනයට යොමු කළේ ය. තමන් පාරායනය කිරීමට නොදත් බව එවිට ද පැවසීය. තෙවන වතාවේ දී සූරා අලක් හි මුල් ආයත් පහ ජිබ්රීල් අලෛහිස්සලාම් විසින් පාරායනය කරනු ලැබිණි. නබිතුමාණන් විසින් එය කටපාඩම් කරන ලදී. මෙය නබිතුමාට ප්රදානය වූ පළමු වහී මෙය වේ.
මෙම සිද්ධියෙන් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා කම්පාවට පත්වූයේ ය. වෙවුළමින් නිවසට වේගයෙන් ගියේ ය. තමාව පොරවන මෙන් එතුමාණෝ බිරිඳ කදීජා ගෙන් අයැද සිටියහ. බිරිඳ වු කදීජා රළියල්ලාහු අන්හා තුමිය විසින් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්තුමාව පොරවා සනසන ලදී. හිරාවේ සිදු වු දේ විමසුවා ය. තමාගේ ඥාතියෙකු ද, ධර්මයන් පිළිබඳ විශාරදයකු ද වන වරකත් ඉබ්නු නව්ෆල් වෙත එතුමා කැඳවා ගෙන ගියා ය. සිදු වු සියල්ල ඔහුට විස්තර කළා ය. එයට සවන් දුන් වරකත් ඉබ්නු නව්ෆල් මුහම්මද් තුමාට නුබුව්වත් හෙවත් නබිත්වය ලැබී ඇති බවත්, නබි තුමා වෙතට පැමිණියේ ජිබ්රීල් අලෛහිස්සලාම් බවත්, හේ කලින් වූ නබිවරුන්ට ශුභාරංචි ගෙන ආ මලාඉකාවරයා බවත් විස්තර කළේ ය. මෙය ඇසූ කදීජා රළියල්ලාහු අන්හා තුමිය මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් ව නබිවරයෙකු ලෙස පිළිගත්තාය.
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ ප්‍රචාරය
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන්ට වහී ප්රදානය වීමත් සමග ම එය ප්‍රචාරය කිරීමේ නියෝගය ද ලැබුණි. අනතුරුව එතුමා තම ප්‍රචාරය ආරම්භ කළේ ය. මුලදී එතුමා ඉතා සමීප මිතුරන් හා ඥාතීන්ට ඉස්ලාමීය දූත මෙහෙවර රහසින් දැන්විය. මෙහිදී කාන්තාවන් ගෙන් කදීජා රළියල්ලාහු අන්හා තුමිය ද, පිරිමින්ගෙන් අබූබක්ර් රළියල්ලාහු අන්හු තුමා ද, කුඩා දරුවන්ගෙන් අලි රළියල්ලාහු අන්හු ඇතුළු පිරිසක් ද ප්‍රථමයෙන් ඉස්ලාමය වැළඳ ගත්හ.
නුබුව්වත් ලැබූ ප්‍රථම වසර තුනක කාලය තුළ ප්‍රචාරය රහසිගතව සිදුවිය.
අනතුරුව තම ප්‍රචාරය පුළුල් කළ නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණෝ සෆා කන්ද මත නැග ඉස්ලාමයේ පණිවිඩය ප්‍රසිද්ධියේ ජනයා ඉදිරියේ තැබූහ. එදින සිට අබූලහබ් ඇතුළු බොහෝ පිරිසක් නබි තුමාට එරෙහි වීමට පටන් ගත්හ. "අස්සාදික්", "අල්අමීන්" යනුවෙන් ප්‍රශංසා කළ නබිතුමා හට සාත්තර කියන්නා, හූනියම් කරන්නා, කවියා යනුවෙන් වස්කවි කීහ. නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා යන එන මාවතේ ගල්මුල් දැමූහ. හිස මතට කුණු දැමූහ. සලාතයේ යෙදී සිටි නබි තුමාගේ කරෙහි ඔටුවාගේ නරක් වූ බඩවැල් දැමූහ.
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට පමණක් නොව ඉස්ලාමය වැළඳ ගත් සහාබාවරුන්ට ද ඔවුහු වද හිංසා කළහ. ඉස්ලාමය අත්හරින ලෙස කියා තර්ජනය කළහ. එනමුත් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා හා සහාබාවරු ඉස්ලාමය අත්හැරියේ නැත. මේ නිසා කෝපයට පත් මක්කා කුරෛෂිවරු නබිතුමා සහ එතුමා ගේ පවුලේ සාමාජිකයන් "ෂිඃබු අබීතාලිබ්" නම් මිටියාවතේ රඳවා තැබූහ.
නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට සැම අතින් ම සහාය දැක්වූ එතුමාගේ බිරිඳ කදීජා රළියල්ලාහු අන්හා තුමිය මරණයට පත් වුයේ මෙම කාල පරිච්ඡේදයේ දී ය. ඉන් පසුව මසක් දෙකක් ගතවෙද්දී නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට ආරකෂාව ලබා දුන් අබූතාලිබ්තුමාත් මරණයට පත් විය. මෙනිසා නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අධික ලෙස කනගාටුවට පත් විය. මෙම වසර "ආමුල් හුස්න්" (දුක්ඛිත වසර) නම් වේ.
අඛණ්ඩව තම ප්‍රචාරය දියත් කළ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ තායිෆ් නගරයට ගියහ. එහි ද එතුමාට ගල්වලින් ගසා වේදනාවට ලක් කෙරුණි. මෙලෙස විවිධ වු දුක් කම්කටොලූ හා වේදනාවන්ට ලක් වු නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාට මරණිය තර්ජන ද එල්ල කෙරුණි. අනතුරුව මක්කාවට හජ් ඉටු කිරීම පිණිස පැමිණෙන විදේශිකයින් හමුවේ ඉස්ලාමිය ප්‍රචාරය රහසිගතව ඒත්තු ගැන්වූහ.
මෙම යුගයේ යත්රිබ් වැසියන්ගෙන් (මදීනා වැසියන්) සමහරෙක් ඉස්ලාමය වැළඳ ගත්හ. මොවුන්ගේ ඉල්ලීම හා අල්ලාහ්ගේ නියෝගය මත නබිතුමා සහ සහාභාවරු මදීනාවට හිජ්රත් ගියහ. මෙම සිදුවීම නුබුව්වත් ලැබි 13 වන
වසරේ දී සිදු විය. එතැන් සිට නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාගේ මක්කා ජීවිතය අවසන් වී මදීනා ජීවිතය ආරම්භ විය.