15 - අසීමිත කමාව

කතානායක:

දෙව් රජය තුළ ගුණ දහම් පිරි - දේව පුරවැසියන් සදන්නේ
දෙව් පියාගේ අසීමිත වූ - කමාවේ බල අත් දකින්නේ

වැරදි කරමින් දෙව් පියාගේ - ප්‍රේමයෙන් අහකට දුවන්නො
යළිත් ඒ ආදරය පතමින් - කමාවේ දෙවි වෙතට එන්නෝ

දෑත් විහිදා බලා සිටිනා - එතුම ප්‍රේමය අසීමිත වේ
තමා වෙත එන දරුන් පිළිගෙන - කමාවෙන් සනසනා හිමිවේ

කමාවේ ගුණ ගැන කියන්නට - ජේසුතුම් කී කතාවකි මේ
සවන් ඇත්තෝ සවන් දෙන්නේ - කමාවේ බල වටහා ගන්නේ

පියකු හා පුතණුවෝ දෙදෙනෙක් - වෙසෙති නිවසක ඒ ගමේ
ඔවුන්ගේ ජීවිත කතාවයි - ගෙවුණු හැටි පවසමි සොඳේ

බාලපුතා:

තාත්තේ ඔබතුම් සතු වන - දේපොළ හා වස්තු වෙතින
කොටස මෙමට ඉන් හිමි වන - ලබා දෙන්න සිත් පෙමයෙන

කතානායක:

අසීමිත ආදරය දැක්වූ - මේ පියා පුතු බස් අසා
දේපොළින් තම පුතුට හිමි වන - කොටස දෙයි ඔහු හට ලියා

නොබෝ දිනකට පසුව මේ පුතු - තමා හට හිමි දේ ලබා
පිට ව යයි දුර බැහැර රටකට - ජීවිතේ ප්‍රීතිය සොයා

බාල පුතා:

නිදහස සතුටින් විඳිමු - මුදලේ ඵල නිති ලබමු
මිතුරනි අපි එක්ව යමු - කැමති ලෙසින් දිවි ගෙවමු

කතානායක:

පියා හා තම නිවස අත හැර - පුතා යයි මිතුරන් ද සමඟින්
තමා අත හැර පුතා ගිය කළ - දින ගෙවන්නේ පියා කඳුලෙන්

දිනෙන් දින පාපයේ ගැලෙමින් - දෙවි පියාණන් අතැර දමමින්
නොමග යන විට දේව දරුවන් - කල් ගෙවයි හිමි කණස්සල්ලෙන්

තුටින් -කා බී දවස් යවමින් - බාල පුතු කල් ගෙවී සොඳිනේ
සියලූ සම්පත් නිම වු සැනෙකින් - අඟහිඟයි ඔහු වෙලා ගන්නේ

නොසිතු ලෙස සාගතයකුයි දැන් - එරට ජනයා වෙත පැමිණුණේ
මුදල් සම්පත් කිසිත් නැත දැන් - කෙලෙසදෝ පුතු දිවි ගෙවන්නේ

බාල පුතා:

මහතාණෙනි කරුණාවෙන් - මට අනුකම්පා කරමින්
අයදිමි මා ඔබ පිහිටෙන් - මට රැකියාවක් දෙන මෙන්

ගොවිපළ හිමියා: 

සත්ව ගොවිපලක් ඇත මට - එහි රැකියාවක් දෙන්නට
හැකි ය ඔබ ව එහි යවනට - එලෙස උදව්වක් කරනට

කතානායක:

සතුන් බලමින් එදා සිට ඔහු - කල් යැවූයේ ගොවිපළේ
කුසගිනිත් ඔහු නිවා ගත්තේ - සතුන් කන සැම අහරිනේ

කිසිවකුත් නැත දුන්නේ කිසිවක් - ශෝකයෙන් දිවි ගතවුණේ
මිතුරනුත් නැත වන්න පිහිටක් - තමා තනිව ම ලත වුණේ

බාල පුතා:

සේවකයන්ටත් කෑම තිබෙන්නේ
ඕනෑ පමණට වඩා තිබෙන්නෙ
පියාගේ ගෙදරට හනිකට යන්නේ
සාගින්නෙන් ඇයි කරදර වෙන්නේ

දෙවිඳුට හා ඔබතුම හට එරෙහි ව
පව් කළෙමි මට සමාව දෙනවද
පුතා කියන්නට නොවටින මා අද
පිළිගත මැන ඔබ සේවකයකු ලෙස

කතානායක:

හරි සිහිය ලැබ පසුතැවිලි වී - මෙසේ පවසන බව සිතා ගෙන
බාල පුතුයයි නැවත ගෙදරට - සිදුවු සැම ගැන දුකින් තැවෙමින
බාල පුතු දැක පියාගේ සිත - දයා පෙමයෙන් පිරෙන්නෙ
නෙතග තුටු කඳුලින් පිරෙද්දී - ගෙළ වැළඳ පුතු සිඹින්නේ

බාල පුතා:

දෙවිඳුට හා ඔබතුම හට එරෙහි ව
පියාණෙනී මම පව් කළෙමි
පුතා කියන්නට නොවටින මා අද
සේවකයකු සේ පිළිගනු මැනවී

කතානායක:

කමා ලැබුමට දරුවන් එන තෙක් - බලා සිටිනා දෙව් පියා
කමාවෙන් පිරි නැවුම් දිවියක් - ඔවුන් වෙත ගෙන දෙයි සොයා

පසුතැවිලි වී යළි හැරී ආ - පුතු කමාවෙන් පිළිගනී
කමාවෙන් ඉතිරෙනා පෙමයෙන් - පුතු ලෙසින් ඔහු රැක ගනී

පියා:

මෙහෙකරුවනි වහාම මෙහි එව්
හොඳම සළුව මා පුතුහට අඳවව්
වහන් දමා මුදුවක් ගෙන පළඳව්
උත්සවයට දැන් සුදානම් වෙව්

කා බී ප්‍රීති ප්‍රමෝද වන්නේ - පුතා මැරී දැන් ජීවත් වන්නේ සාගින්නෙන් ඇයි කරදර වෙන්නේ
නැති වූ පුතු යළි සමු වී ඇත්තේ - මා නිවසට ඔහු පිළිගමු සොඳිනේ

කතානායක:

සමාජයෙහි පැවති සිරිතයි - මේ පියා දැන් ඉටු කරන්නේ
උසස් ලෙස පුතු පිළිගැනීමට - හොඳම සළුවයි අන්ඳවන්නේ

වහල් සේවකයකු නොවේ ඔහු - සිය පුතු ම බව වටහා දෙන්නෙ
වහන් යුගළක් පළඳවා ඔහු - පා යුගළ ඉන් සරසවන්නේ

ඇඟිල්ලෙහි මුදුවක් දැමීමෙන් - අහිමි වූ තැන යළි පුදන්නේ
බලය අධිකාරිත්වයයි ඒ මගින් - දැන් පුතු හට ලැබෙන්නේ

පවුලේ වැඩිමල් පුතණුවන් - ගොවිපළට ගොස් සිටි මේ වෙලේ
ඇසුණි නැටුනුත් ගැයුම් වැයුනුත් - හනික ගෙට ළං වූ කළේ

ඇසුණු මේ නද කුමක්දැයි ඔහු - හට වටහා ගන්නට නොහැක්කේ
අසල සිටි දාසයන්ගෙන් - එක් කෙනකු ගෙන් මේ බව අසන්නේ

වැඩිමල් පුතු:

මා ගොවිපළට යන විට උදෑසන
සිදු වුණේ නැත කිසිත් මේ ලෙස
ගොවිපළේ මා සිටි අතර තුර
කුමක් සිදු වූයෙහි ද ගෙය තුළ

දාසයා:

ඔබෙ සොයුරා යළි පැමිණ සිටින්නේ
ඔබටත් එය සතුටක් විය යුතුනේ
සුවසේ ඔහු ආපසු ආ බැවිනේ
ඔබේ පියා දැන් සොම්නස් වන්නේ

කතානායක:

උදහසින් පිරි වැඩිමහල් පුතු - ගෙදර ඇතුළට වත් නොයන්නේ
පියා හා සතුටක් ලබන්නට - නොමැත ඔහු සහභාගී වන්නේ

ගෙදර ඇතුළට නොඑන වැඩිමල් - පුතුට හඬ ගැසුමට සිතන්නේ
පියා පිටතට ඇවිත් ඔහු හට - ඇතුළු ගෙට එන්නට කියන්නේ

පියාගේ අයැදීම වෙත ඔහු - නොමැත කිසි ලෙස සවන් දෙන්නේ
සොයුරු හට නිති කමා වෙන්නට - කැමැත්තක් ඔහු තුළ නොමැත්තේ

වසර ගණනක් පියා සමඟින්-දිවි ගෙවූව ද මේ පුතා
අසීමිත වූ කමාවේ ගුණ - නොමැත අත්දැක නිසි ලෙසා

වැඩිමහල් පුතු :

මෙපමණ අවුරුදු ගණනාවක්
කළෙමි ඔබ හට කැපවීමක්
සේවය කළෙ ඔබට ම පමණක්
කඩ නොකළෙමි ඔබේ කිසිම අණක්

එසේ වුවත් මිතුරන් සමග - තුටු වන්නට ඉඩ නොදුනී ඔබ
එළු පැටවකු පමණවත් මට -නුදුන්නෙහි ය ඔබ කිසි දිනෙක

ඔබෙ අගනා මුළු වත්කම ම - නාස්ති කළ පුතු ආ විගස
උත්සව පැවැත්තුවේ ඔබ ය - මා උදෙසා කිසිවක් නොමැත

පියා: 

පුත ඔබ නිතරම මා සමගයි
මා සතු සියල්ල ඔබ සතු වෙයි
ඔබෙ සොයුරා මැරී ජීවත් වෙයි
අප සැම සොම්නස් විය යුතු ම යි.

කතානායක:

බාල පුතු හට කමාවේ දිවි- දෙමින් පිළිගත් පියාණන් සේ
වැරදි කරනා අප වෙත ද නිති - කමා කරනට එතුම යොමුවේ.

කළ වැරදි ගැන පසුතැවීම යි - දේව දරුවන් හට ඔබින්නේ
නැවත නොකරන බව සිතා ගෙන - දෙව් කමාවයි ලැබිය යුත්තේ

කමාවෙන් ජීවිතයේ වෙනසක් - අත්දැකීමට හැකි ය දන්නෙමු
කමාවේ දිවි අයැදිමින් - හිමිතුමන් වෙත නිති පා නගන්නෙමු

දෙව් පියාගේ අසීමිත වූ - කමා ලැබුමට සැවොම එන්නේ
කමා කරමින් පවින් මිදුමට - එතුම මග බලමින් සිටින්නේ

කිසිදු කොන්දේසියක් නැති - දෙව් කමාවේ බල අත් දකින්නට
දෙව් පියා වෙත හනික යමු අපි - වැරදි ගැන පසුතැවිලි වී අද

ඒ කමාවේ දිවිය ලබමින් - අනුන් වරද ද කමා කෙරුමට
යොමු වෙමින් දෙව් සමිඳු සම`ගින් - එකතු වෙමු නව මගක යන්නට.